ප්‍රේමසිරි හැළඹගේ ඝාතනය කළේ බුකී කරුවන්ද?… අද තණතිලි හදන්නේ සූදුකාරයින්..

0

ක්‍රිකට්වලට වෙලා තියෙන දේ ගැන මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමායි ලිඛිතව කිව්ව බවත් ඒත් කිසිම දෙයක් වුණේ නැහැ. දැන් කියන්න වෙන්නේ උඩ ඉන්න දෙවියන්ට විතරක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.අද උදෑසන (30) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ එදා ගාමිනී දිසානායක ඇමතිතුමා ක්‍රීඩකයින්ගෙන් ඉගෙන ගත්තා. අද ඉන්න ඇමතිවරු සූදුකාරයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ක්‍රිකට් ගැන ඉගෙන ගන්නවා. මුදල් ලබා ගන්නවා. එදා සහ අද අතර තියෙන වෙනස එය බවයි.

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ හිටපු සභාපති ප්‍රේමසිරි හැළඹගේ වෙඩි තබා ඝාතනය කිරිම් සහ ක්‍රිකට් සුදුකාරයන් අතර සම්බන්ධයක් තිබිය හැකි බව අමාත්‍යවරයා එදි පෙන්වා දුන්නා.

“ඒ වගේම මට මතකයි ප්‍රේමසිරි හැළඹගේ මහතා වෙඩිවැදි මියයාම පෙර ගාලු ක්‍රීඩාංගණයේ තණතිලි ගැන වැඩි අවධානයක් යොමු කළා. ඔහු මියයාමට පෙර ගාලු ක්‍රීඩාංගණයේ තණතිලි සෑදීම සඳහා ඔහු විසින් නම් කළ අය වෙනස් කරලා වෙනත් පිරිසක් ඒ සඳහා ක්‍රිකට් පරිපාලනය විසින් පත් කර තිබෙනවා. තමන්ට ඕන පිරිසක් ඒ සඳහා පත් කර ගෙන තිබෙනවා. ඒ ගැන තොරතුරු මාධ්‍යයෙනුත් අපි දැක්කා. අපි දැන් කාගේ අවශ්‍යතාවට කවුරු විසින් මෙවැනි වෙනස් වීම් කළාද කියලා අනිවාර්යෙන්ම සෙවිය යුතුයි. ඇත්තටම මට තේරෙන්නේ නෑ මේ වගේ දේවල් කරන සූදුකාරයින්ට මේ ක්‍රිකට් ක්‍රීඩාවට එන්න මේ ක්‍රිකට් බලධාරීන් ඉඩ දෙන්නේ ඇයි කියලා. ”

අල් ජසීරා රූපවාහිනිය අනාවරණය කළ තණතිලි පාවාදීමේ සිද්ධියේදී ජාතික තණතිලි භාරකරු හෝ ක්‍රිකට් පරිපාලනයේ ඉහළ නිලධාරීන්ට හෝ වගකීමෙන් කර ඇරිය නොහැකි බවත් තණතිල්ලේ වාසිය සත්කාරක රට ලෙස ශ්‍රී ලංකාවට ලබා නොගැනීමේ පිටුපස බුකීකරුවන් මෙන්ම ලෝක ක්‍රිකට් කවුන්සිලයේ ඉහළ තනතුරු අපේක්ෂාවෙන් සිටින ඉහළම ක්‍රිකට් බලධාරීන්ද සිටිය හැකි බවයි.

“ඉස්සර, ඒ කියන්නේ 1982 වර්ෂයේදී අපිට බොහෝ විට විදේශ රටකදී ලැබෙන්නේ තණකොළ ගොඩාක් තියෙන තණතිලි. අපිට විදේශ රටට ගිහිල්ලා කියන්න බැහැ අපේ ක්‍රීඩකයින්ට උචිත තණතිලි දෙන්න කියලා. තණතිල්ලේ වාසිය ලබා ගන්නේ සත්කාරක රට ලෙස එම විදේශීය රටේ කණ්ඩායම. ඒ වගේම තමයි ලංකාවේ තරගයක් තියෙන විටත් අපේ දඟපන්දු යවන්නන්ට උචිත ලෙස අපි අපේ ක්‍රීඩාංගණවල තණතිලි හැදුවා. ඒ කියන්නේ තණතිල්ලේ වාසිය ලබා ගන්නේ සත්කාරක රට. ඒක තමයි ක්‍රිකට් සංස්කෘතිය. විශේෂයෙන්ම අපි ඒ දවස්වල තරගයට කලින් තණතිලි බලන්න යනවා. තණතිල්ලේ ස්වරූපය අනුව අපි අපේ සැලසුම් සකස් කරනවා. එහෙම තමයි අපි ඒ කාළේ තරග ජයග්‍රහණය කළේ. නමුත් අද ක්‍රීඩකයින් ගැනවත් රට ගැනවත් තණතිලි සැකසීමේදී අවධානයට ගන්නේ නැහැ. අද තණතිලි හදන්නේ සූදුකාරයින්ට ඕන විදියට. පරිපාලනේට ඕන විදියට. මීට කලින් මම මාධ්‍යයෙන් දුටුවා ලසිත් මාලිංගත් කියනවා තරගවලදී තණතිලි අහේතුක ලෙස වෙනස් කළා කියලා. ”

“අද අපේ රටේ තණතිලි භාරව ක්‍රිකට් ආයතනයෙන් පත් කර සිටින්නේ ගොඩ්රි කියන පුද්ගලයෙක්. ඔහු තණතිලි ගැන ප්‍රවීණයෙක් නෙමෙයි. නමුත් ඔහු ක්‍රිකට් සභාපතිවරයාගේ හිතවත්ම ගෝලයා. දැන් ඒ පුද්ගලයා නිදහස්. ලොකු තෝරා නිදහස්. පොඩි හාල්මැස්සෝ දෙන්නෙක් තමයි අල්ලා ගෙන ඉන්නේ. ප්‍රධාන පුද්ගලයාගේ ආශිර්වාදය නැතිව මෙවැන්නක් කරන්න බෑනේ. ඔහු තමයි මේ සියල්ලටම වගකියන්න ඕනේ. මම ආයෙත් කියන්නේ මේ තණතිලි භාර ප්‍රධානියාව මේ සිද්ධියෙන් නිදහස් කරන්න බැහැ. අපි හොයන්න ඕනේ මෙහි මහ මොළකරු කවුද කියලා. එහෙම නැතිව මේ සිද්ධියට සාර්ථක විසදුමක් අපිට ලබා දෙන්න බැහැ. නමුත් අද එවැන්නක් වෙන්නේ නැහැ. කුඩු විකුණනකොට ප්‍රධාන ව්‍යාපාරිකයා නිදහස් වෙලා පොඩි මිනිස්සු හිරේ දානවා වගේ තමයි අද ක්‍රිකට්වලත් වෙන්නේ. අද මේ ක්‍රිකට් පරිපාලනයේ සමහර පුද්ගලයෝ ඉන්නවා ලෝක ක්‍රිකට් කවුන්සිලයේ තානාන්තරවලට යන්න. ඒ සඳහා විදේශ පාලක මණ්ඩලවල සහාය ලබා ගැනීමේ අරමුණින් සිතාමතාම ඔවුන් සත්කාර රටට ලැබෙන තණ තිල්ලේ වාසිය විදේශ රටවලට ලබා දෙන්න කටයුතු කළාද කියන එකත් අපි සොයා බැලිය යුතුයි. තනතුරු අපේක්ෂාවෙන් සිටින අය මේ තණතිලි පාවාදීමට හවුල්ද කියන එකත් අපි සොයා බැලිය යුතුයි.”

“අද තරග පාවදීම් අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ සාමාන්‍ය දෙයක් බවට පත්වීගෙන එනවා. නමුත් ඒවා නතර කිරීමට කිසිම උත්සායක් ගන්නේ නැහැ. දඩුවමක් නැහැ. උදාහරණයකට කළුතර පානදුර තරගයේ තරග පාවාදීම ගනිමු. මං දන්න විදියට චාමර සිල්වා ක්‍රීඩකයා කියලා තියෙනවා රවීන් වික්‍රමරත්න කියන අද ඉන්න ලේකම්වරයා එම සිදුවීමට සෘජුවම සම්බන්ධයි කියලා. නමුත් පුදුමේ කියන්නේ මේ වත්මන් ක්‍රිකට් පරිපාලනය මේ රවීන්ව කළමනාකාරවරයා හැටියටත් දානවා. එතොකොට විය හැකි දේ අමතුවෙන් කියන්න ඕන නැහැ. පානදුර කලුතර තරග පාවාදීමට සම්බන්ධ වුණේ පොඩි පුද්ගලයෙක් නෙමෙයි ලේකම්වරයෙක්. ඒත් තාමත් ඔහු ලේකම්. අවාසනාවකට වගේ ක්‍රිකට් ක්‍රීඩාවේ වන කිසිම දෙයක් හිටපු ක්‍රීඩා ඇමතිතුමාට නම් පෙනුනේ නැහැ. දැන් ඉන්න ක්‍රීඩා ඇමැතිටවත් මේවා පෙනෙයි කියලා මම විශ්වාස කරනවා. හිටපු ක්‍රීඩා ඇමැතිතුමා කොන්ද කෙලින් තියාගෙන වැඩ කළා නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. දැන් අපිට අලුත් ඇමතිවරයෙක් ලැබිලා තියෙනවා. එතුමා නීතිඥයෙක්. යම් කිසිවිදියකින් එතුමාටත් ක්‍රිකට් ක්‍රීඩාවට වන විනාශය පෙනුණේ නැතිවුණොත් තත්ත්වය භයානක වෙන්න පුළුවන්.”

“වත්මන් පරිපාලනය තමයි මේතාක් හිටපු දූෂිතම පරිපාලනය කියලා මම ඉතා පැහැදිලිවම කියනවා. අපේ මේ රටේ ක්‍රීඩා නීතියක් තියෙනවා. කේ. බී. රත්නායක මැතිතුමාගේ කාලේ ඉඳලා පැවැත එන නීතියක් තියෙනවා. නමුත් පහුගිය ක්‍රීඩා ඇමතිවරුන්ට මුදලට යට වීම නිසා ඒ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ක්‍රීඩකයෝ අද අසරණ තත්ත්වයකට පත් වෙලා. තරග පාවාදීම්, තණතිලි පාවාදීම් ක්‍රිකට් සංස්කෘතියට ඇතුළු වෙලා. එහි වැඩිවීමක් මේ පසුගිය අවුරුදු තුනේදී අපි දකිනවා. නමුත් ඒවාට විරුද්ධව කිසිම පියවරක් ගෙන නැහැ. මට මතක හැටියට අපි පරාජය වුණු සිම්බාබ්වේ තරගාවලියේදී විශාල මුදලක් බුකී ආයතන උපයා තියෙනවා. අද ඔය ක්‍රිකට් මහ පුටුවේ ඉන්න අයට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල රැස්වීම්වල යන්න බැහැ. තමුන්නාන්සේලා සොයලා බලන්න පසුගිය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල රැස්වීම්වලට ගියේ කවුද කියලා. අසංග ගුරුසිංහ යවනවා. ඔහු කළමනාකරුවෙක්. ඇයි ඔහුව යවන්නේ…? අද හිටපු ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් බයෙන් රැකියාව කරනවා. ඇත්ත කථා කරන්නේ නැහැ. මම ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඔය ක්‍රිකට් සභාපතිවරයා ආණ්ඩුවේ ඇමතිවරයෙක් වූ මට ඇඟිල්ල දික් කරලා කියනවා හරි බලා ගමු කියලා. එතොකොට මේ සභාපතිවරයා අපේ සාමාන්‍ය ක්‍රීඩකයින්ට මොනවා කරයිද කියලා ඔවුන්ට බයක් නැත්ද ? මට හැමදාම ආණ්ඩුවට බනින්න බැහැ. විවේචනය කරන්න බැහැ. එදා ගාමිනී දිසානායක ඇමතිතුමා ක්‍රීඩකයින්ගෙන් ඉගනගත්තා. අද ඉන්න ඇමතිවරු සූදුකාරයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් ක්‍රිකට් ගැන ඉගෙන ගන්නවා. මුදල් ලබා ගන්නවා. එතනයි එදා සහ අද අතර තියෙන වෙනස.”

“අපි 2015 ආණ්ඩුව හදපු අවස්ථාවේ ක්‍රිකට්වලින් අපි හොඳ තත්ත්වයක හිටියා. ලෝක ශ්‍රේණිගත කිරීම්වල ටෙස්ට්, තනිදින සහ විස්සය් විස්ස තරගවලදී අප ඉහළ තත්ත්වයක සිටියා. විශේෂයෙන්ම අපි විස්සයි විස්ස තරගවලදී සිටියේ ශ්‍රේණිගත කිරීම්වල අංක ස්ථානයේ. නමුත් අපේ ආණ්ඩුව ආවට පස්සේ අපේ ක්‍රිකට් පරිපාලනය අනවශ්‍ය පුද්ගලයින් අතට යාමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ පසුබෑමකට ලක්ව තිබෙනවා. එක් අවස්ථාවක ක්‍රිකට් පරිපාලනයේ වැරදි පෙන්වා දෙමින් මම මානව හිමිකම් කොමිසමට පවා ගියා. ඒ පැමිණිල්ල කළේ මේ රටේ අමාත්‍යවරයෙක්. නමුත් තාමත් ඒකෙන් උත්තරයක් නැහැ. අද අපේ ක්‍රිකට් ක්‍රීඩාව බුකී සහ ඔට්ටුකරුන්ගේ ග්‍රහණයට ලක් වෙලා. ඒකට මේ ආණ්ඩුව සහ හිටපු ක්‍රීඩා අමැතිවරයා වගකියන්න ඕන.”

“අද ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. අපි ඇෆ්ගනීස්ථානයටත් පරාජය වන තත්ත්වයකට පත් වෙලා. මේ ගැන මම 2005 වසරේදීත් කථා කළා. 2015දීත් කථා කළා. මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන නිහඬව සිටියේ නැහැ. මම මාධ්‍යයේදී වගේම ක්‍රිකට් ක්‍රීඩාවට වන විනාශය ගැන ලිඛිතව හිටපු ක්‍රීඩා ඇමතිට ලියා දැන්වූවා. අතිගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ලිඛිතව ලියා දැන්නූවා. දැනුවත් කළා. ක්‍රිකට් ක්‍රීඩාව අද වැටී තියෙන තත්ත්වය ගැන, වැටෙන්න යන තත්ත්වය ගැන මම ඉහළම තැන්වලට කිව්වා. නමුත් ඒ ගැන ඇහුම්කන් දෙන්න කිසිම කෙනකුට කිසිම ඕනකමක් තිබුණේ නැහැ. කිසිම වැඩක් වුණෙත් නැහැ. දැන් ඉතින් මේ ගැන කියන්න වෙන්නේ උඩ ඉන්න දෙවියන්ට විතරයි…..”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here