කවුරු විරුද්ධ වුනත් සමාජ මාධ්‍ය ජාලා තහනම් කරනවා…….!

0

ලංකාවේ සිදුවන සමාජ මාධ්‍ය ජාලා ආශ්‍රිත අපරාධ පාලනය කර ගත නොහැකි වුවහොත් කවුරුන් විරුද්ධ වුවද සමාජ මාධ්‍ය ජාලා තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා.

අද (31) වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

“අද අපි දකින ලොකුම අපරාධ තමයි පරිඝණක අපරාධ හා ජංගම දුරකතන අපරාධ. මම කරපු ඉල්ලීමක් අනුව මාසයක් තුළ සිදුවන පරිඝණක අපරාධ හා ජංගම දුරකතන වලින් සිදුවන අපරාධ ගැන පොලිස්පත් තුමා මට වාර්තාවක් ගෙනත් දුන්නා. ගමේ භාෂාවෙන් කියනවා නම් ඒක දැකලා මගේ ඇඟ කිලිපොළා ගියා. මේ තත්ත්වය සැළකිල්ලට ගෙන සමාජ මාධ්‍ය ජාලා ගැන කටයුතු කරන ආයතනයේ ඇමරිකාවේ පිහිටි නිලධාරින් ගෙන්නෙව්වා. ඒ ගොල්ලන්ටත් දැන්වුවා ලංකාවේ මේ තත්ත්වය පාලනය කිරීමට ඔවුන් කටයුතු කරන්නේ නැත්නම් කවුරු විරුද්ධ වුනත් ඇතැම් රටවල් රාශියක තහනම් කරලා තියන විදියට තහනම් කරනවා කියලා.”

“පහුගිය දිනවල මේ රජයට චෝදනා එල්ල වුණා පාතාල මිනිමරුවන්ට අපිත් ඔලුව උස්සන්න දීලා කියලා. ඒ චෝදනාව සාධාරණ චෝදනාවක් කියලා මම පිළිගන්නවා. අපරාධකරුවන්ගේ තොරතුරු ඒ පවුල් වල තොරතුරු පොලිසිවල තියනවා. ඒ වුනාට කියන්නේ ඕනෑම දෙයක් වුනාම අපි දන්නේ නෑ රටින් පිට වෙලා ගිහිල්ලා කියලා. දැන් ඒ තොරතුරු ගුවන් තොටුපොලේ පරිඝණක වලට ඇතුලත් කරලා නැද්ද? ඒවායෙන් කියන්න ඕන මෙයාට යන්න දෙන්න බෑ කියලා. නීතිය හා සාමය ආරක්ෂා කරන දෙපාර්තමේන්තුවේ අය මේවායේ සම්පුර්ණ වගකීම ගන්න ඕන.” ජනාධිපතිවරයා පවසා සිටියා.