20 වෙනි සංශෝධනය පුස් වෙඩිල්ලක්….!

0

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පුස් වෙඩිල්ලක් බවත් එමගින් ජනතාව මුහුණ දෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රශ්න කිසිවකට පිළිතුරු නැති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

අද (03) බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ, විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම නමැති සටන් පාඨය සමග ජනතා විමුක්ති පෙරමුණ හැමදාම කරන බල සූදුව මෙවරක් සිදු කරමින් සිටින බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රතිසංස්කරණ ගෙන ආ යුත්තේ මහජන පෙළ ගැස්මක, අඛණ්ඩ උද්ඝෝෂණයක පියවරක් ලෙස බවත් එසේ නොමැතිව අහසින් පාත් කරන ප‍්‍රතිසංස්කරණවලින් ජනතාවට කිසිවක් නොලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නා.

එහිදි අදහස් දැක්වූ පුබුදු ජාගොඩ,

“20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් විදියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ අදහස කියන්නයි මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ. 20 සංශෝධනය ඉදරි පත් කරලා තියෙන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියන තේමාව යටතේ. මේ ගැන සාකච්ඡුා කරන කොටම අපේ අවධානය යොමු විය යුතු කරුණක් තිබෙනවා මේ මොහොත වන විට රටේ තිබෙන අර්බුදය මොකක්ද? ඒ අර්බුදයේ මූලය මොකක්ද? කියන එක පිළිබඳව. ආර්ථික, ප‍්‍රජාතන්ත‍්‍රවාදය. දේශපාලනය අර්බුදය විධායක ජනාධිපතික‍්‍රමය නිසා ඇති වුණු අර්බුදයක් කියලා කියන්න බැහැ. ඇත්තටම මේ අර්බුදය විධායක ජනාධිපති ක‍්‍රමය නිසා ඇති වූවක් කියනවාට වඩා විධායක ජනාධිපතික‍්‍රමය කියන්නේ අර්බුදයේ ඵලයක්.”

“උදාහරණයක් විදියට 1977 විවෘත ආර්ථිකය පටන් ගන්නා විට විශේෂයෙන් පහළ පාන්තික ජනතාවගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ විරෝධ්‍යට ලක් වෙන ප‍්‍රතිසංස්කරණ කිරීම. ඊට විරුද්ධව ජනතාවගේ විරෝධය මතු වෙනවා. ඒ විරෝධය නවත්වන්නයි ඒකාධිපති බලතල අවශ්‍ය වුණේ. එතැනින් තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය ආවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නය අහසේ පා වෙන එකක් නොවෙයි. රාජපක්ෂ පාලනය සමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි වීම ගැන හිතුවොත් ඒවා සම්බන්ධයි ඒ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියත් එක්ක. රොෂේන් චානකට වෙඩි තියලා මරලා දැම්මේ විශ‍්‍රාම වැටුපක් නමින් පෞද්ගලික අංශයේ ඊ.පී.එෆ්. අරමුදල කොල්ල කන්න ආණ්ඩුව උත්සාහ ගත්ත වෙලාවේ කම්කරුවන් ඊට විරුද්ධව පාරට බැහැපු නිසා. රතුපස්වල වුණේ කිසිදු පරිසර නීතියක් නොසලකා කටයුතු කරන සමාගමට විරුද්ධව ජනතාව පාරට බැස්සා. ඒ විරෝධය මර්දනය කරන්නයි වෙඩි තිව්වේ. මේ ආර්ථික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්න තමයි ඒකාධිපති බලතල අවශ්‍ය වුණේ. විවෘත ආර්ථිකය පටන් ගත්තෙත් 1977. විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භ වුණේත් 1978. ඒ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය ඒ තනි පුද්ගලයා සම්බන්ධ ප‍්‍රශ්නයක් නොවෙයි, මේ ආර්ථික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන්න යම් තනි පුද්ගගලයෙක් හෝ තනි මණ්ඩලයක් අතට සමස්ත බලය සංකේන්ද්‍රණය වෙන්න ඕන. ඒ නිසා විධායක ක‍්‍රමය බැඳී තිබෙනවා ආර්ථික ප‍්‍රතිපත්තියත් එක්ක.”

“ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා, ආණ්ඩුවේ නායකයා, සේනාධිනායකයා. අධිකරණයට, නීතියට, ව්‍යවස්ථාදායකයට බලපෑම් කිරීමේ හැකියාව තිබුණා. ඒ නිසා විශාල බලතල සහිතව තමයි විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භ කළේ. මේක ඉතාම අත්තනෝමතික ක‍්‍රමයක්. ඒක අහෝසි විය යුතුයි. ඒ ගැන විවාදයක් නැහැ. නමුත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වෙනවා කියන්නේ ජනාධිපති අතේ තියෙන බලය අගමැති අතට පත් කරන එක හරි, තනි පුද්ගලයෙක් අතේ තිබෙන බලය තනි මණ්ඩලයක් අතට පත් කරන එක හරි නෙවෙයි. අපි දකින්නේ ආර්ථික අර්බුදය ගත්තත්, දේශපාලන අර්බුදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අර්බුදය වෙනම ගත්තත් පූර්ණ ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසකින් තොරව මේ ප‍්‍රශ්නය විසඳන්න බෑ. දැන් මේ තියෙන ව්‍යවස්ථාවට පැලැස්තර දාලා විසඳන්න පුළුවන් ප‍්‍රශ්නයක් නොවෙයි දැන් තියෙන්නේ. එතනදී විශේෂයෙන්ම සැලකිල්ලට ගත යුතු කරුණක් තමයි දැන් තිබෙන නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයම පූර්ණ වෙනසකට ලක් විය යුතුයි.”

“දැන් තිබෙන නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොංපාට් වෙලා. මන්ත‍්‍රීවරු 118ක් අර්ජුන් ඇලෝසියස්ගෙන් සල්ලි අරන් කියලා ඔප්පු වෙලා තියෙන්නේ. පනත්වලට අත උස්සනවාද නැද්ද කියලා තීරණය කරන්නේ අතට ලැබෙන මුදල් මත. දුෂිත වෙලා තිබෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ අවංකවම මේ ප‍්‍රශ්නයට කැප වෙනවා නම් ඔවුන් යෝජනා කළ යුත්තේ පූර්ණ ව්‍යවස්ථා වෙනසක්. අපි යෝජනා කරන්නේ පූර්ණ ව්‍යවස්ථා වෙනසක්. ජන සහභාගීත්වයේ පදනම මත ව්‍යවස්ථාවක් හදන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි අපේ යෝජනාව තිබෙන්නේ. අපේ මතය තිබෙන්නේ.”

“20 සංශෝධනය පුස් වෙඩිල්ලක්. මේකෙන් මුකුත් වෙන්නේ නැහැ. තනි පුද්ගලයෙක් හෝ මණ්ඩලයක් අත බලය ඒකරාශී වීම කියන ප‍්‍රශ්නයට උත්තරයක් මේකේ නෑ. දෙවැනි එක, මේක ඉදිරිපත් කළාට දැන් තියෙන විදියට පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නේත් නෑ. දැනටමත් ඒකාබද්ධ විපක්ෂය විරුද්ධයි. ජාතික හෙළ උරුමය විරුද්ධයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම, මුස්ලිම් කොංග‍්‍රසය, කඳුරට පෙරමුණ විරුද්ධයි කියලා තිබෙනවා.
ආර්ථිකයේ ප‍්‍රහ්නය ඉතාම බරපතළ ලෙෂ පහළ පන්තිවලට බලපානවා. ඒක වැහිලා ගිහිල්ලා තිබෙනවා මේකෙන්. උදාහරණයක් විදියට මීගමුවේ ධීවරයෝ කළුකොඩි දාගෙන ෂතියක් තිස්සේ ඉන්ධන මිල වැඩිවීමට විරුද්ධව උද්ඝෝෂණය කරනවා කියන එක ප‍්‍රවෘත්තිවල විකාශනය වෙන්නෙවත් නෑ. 20 වෙනි සංශෝධනය තමයි සාකච්ඡුා වෙන්නේ. කම්කරු අයිතිවාසිකම් කප්පාදුව ගැන, කොතලාවල විශ්වවිද්‍යාලයට ආපු අලූත් සංශෝධනය සම්බන්ධයෙන් ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, සමාජය ගෙන එන සාකච්ඡුාව ගැන කොතනකවත් සඳහනක් නෑ.”

“පය බරවායට පිටිකර බෙහෙත් බැන්දා වගේ කියලා සද්ධර්ම රත්නාවලියේ උපමාවක් තියෙනවා. ඒ වගේ මේකෙන් ආර්ථිකයේ ප‍්‍රශ්නයට කොහොමටවත් උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ ප‍්‍රශ්නයට උත්තර හම්බ වෙන්නෙත් නෑ.”

“මේ මොහොතේ ඇසිය යුතු ප‍්‍රශ්නය මොකක්ද? ජනාධිපතිගේ බලතල සැලකිය යුතු ප‍්‍රමාණයක් අඩු කර තිබෙනවා. ඒක හොඳයි. නමුත් පළාත් සභාවලට අදාළ සියලූ බලතල ඉතිරි කර තිබෙනවා. හමුදාවේ සේනාධිනායකයා, රාජ්‍යයේ නායකයා, යුද්ධය හා සාමය ප‍්‍රකාශ කිරීත්‍ම් බලධාරියා කියන ඒවා ඉතිරි කරලා තිබෙනවා. අධිකරණ මුක්තියත් ඉතිරි කරලා තිබෙනවා. ඒ ගැන සඳහන් කරලා නැහැ. සමහර දේවල් කැබිනට් මණ්ඩලයත් එක්ක සාකච්ඡුා කරලා කරන්න කියලා යෝජනා කරලා තිබෙනවා. නමුත් පරස්පරයක් ආවොත් මොකද කරන්නේ කියලා නෑ. ජනාධිපති යෝජනා කරන එකට කැබිනට් මණ්ඩලය එකඟ නොවී අර්බුදයක් ඇති වුණොත් කරන්නේ මොකක්ද කියලා මේකේ සඳහන් වෙන්නේ නෑ.”

“ලෝකේ ආණ්ඩුක‍්‍රම විධියට නිශ්චිත වර්ග කිහිපයක් තිබෙනවා. එක වර්ගයක් තිබෙනවා, විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල තනි පුද්ගලයකුට හෝ තනි මණ්ඩලයකට සංකේන්ද්‍රණය වුණු ආණ්ඩුක‍්‍රම. අනෙක් එක තමයි අධිකරණය, විධායකය, ව්‍යවස්ථාදායක වෙන වෙනම ආයතන තුනක් සහිත ආණ්ඩුක‍්‍රම. තුන්වැනි එක තමයි විධායකය හා ව්‍යවස්ථාදායකය අතර සංවරණය සහ තුලනය වෙන ආණ්ඩුක‍්‍රමයක්. දැන් මේ 20 වැනි සංශෝධනය මොන වර්ගයටද අයිති වෙන්නේ. එකකටවත් අයිති නෑ. මේක හරියට අශ්වයයි බූරුවයි එකතු කරලා කොටළුවෙක් හැදුවා වගේ. මේ දැන් තියෙන ව්‍යවස්ථාවට මේ ජාතියේ පැලැස්තර දැම්මම වෙන්නේ අංගවිකල එකක් බිහිවීම.”

“තිබුණු ලොකුම ප‍්‍රශ්නය මොකක්ද? ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කියෙන්නේ නැති එක ලොකු ප‍්‍රශ්නයක්. මේ 20 වැනි සංශෝධනයෙන් පස්සෙත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හමුවට කැඳවලා ප‍්‍රශ්න කරන්න බැහැ. කිසිදු ආයතනයක් විසින් ඒ බලතල සංවරණය හා තුලනය වෙන්නෙත් නැහැ. දැන් 20 සංශෝධනය ගැන කරුණක් ලෙෂ කියන්නේ විධායක බලතල තියෙන කෙනා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලනේ. නමුත් ප‍්‍රශ්නය විධායක බලතල තිබෙන කෙනා පාර්ලිමේන්තුවේ ඉන්නේ නැති එකද? ඒ බලතල සංවරණය සහ තුලනය වෙන්නේ නැති එකද? ඇමරිකාවේ තියෙන්නෙත් ජනාධිපතිගේ තීරණ කොංග‍්‍රස් එකට නවත්තන්න පුළුවන්. ඒ බලතල සංවරණය සහ තුලනය වෙනවා.
20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගත්තම ජනතා විමුක්ති පෙරමුණ ව්‍යවස්ථා විශාරදයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් බලලා තියෙනවා. නමුත් ජනතාවගේ දෘෂ්ඨිකෝණයෙන් බලලා නැහැ. ජනතාව වැඩි පුරම පීඩාවට පත් වෙලා ඉන්න එකක් තමයි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා ජනාධිපතිවරයා ගන්නා ක‍්‍රියාමාර්ග. ඒවා වළක්වන්න මොකක්වත් නැහැ. ව්‍යවස්ථාවේ 23 වැනි වගන්තිය යටතේ තිබෙනවා මහජන ආරක්ෂාව වැනි පැරණි නීති ජනාධිපතිවරයාට පාවිච්චි කළ හැකියි කියලා. දැන් මුළු රටටම හෝ රටෙන් කොටසකට හදිසි නීතිය ප‍්‍රකාශයට පත් කරන්න, හමුදාවට පොලිස් බලතල ලබා දෙන්න ජනාධිපතිවරයාට පුළුවන්. ඒවා පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඕන මාසයකට පස්සේ. එතකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. වැඩවර්ජනයක් කැඳවලා තියෙන වෙලාවක ඕනෑම සේවයක් අත්‍යවශ්‍ය සේවාවක් විදියට නම් කරලා වැඩවර්ජනය කඩාකප්පල් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්. ඒවාට මොකක්වත් කරලා නැහැ. පහළ පන්තියේ ජනතාවට, කම්කරුවන්ට, ගොවියන්ට, ධීවරයන්ට, ශිෂ්‍යයන්ට විධායක ජනාධිපති ක‍්‍රමේ ප‍්‍රශ්නෙ බලපාපු විදියක් තියෙනවානේ. ඒකට මොකක්වත් විසඳුමක් නෑ.”

“මේ වෙන මොකක්වත් නොවෙයි. බල සූදුවක්. ජනතා විමුක්ති පෙරමුණ හැමදාම මේ සටන් පාඨයත් එක්ක බල සෙල්ලමක් කළා. මේකේ මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ. විධායක බලතල සියල්ල අගමැතිට පවරලා, ජනාධිපතිවරණයක් නැති කරලා තිබෙනවා. ඔන්න ඔය වගන්තිය විතරයි ජනතා විමුක්ති පෙරමුණට ඕන. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික‍්‍රමසිංහටත් ඕන ඔය ටික. ජනාධිපතිවරණයක් නැත කියන වගන්තිය. ඉතිරි ටික දාන්නේ අයිසින්වලට.
විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ සටන් පාඨය ගේන්න ඕන මහජන පෙළ ගැස්මක් යටතේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ජනතාවගේ සාක්ෂරතාවයේ වර්ධනයක් ඇති වෙලා, ජනතාව අතර ප‍්‍රජාතන්ත‍්‍රවාය ගැන වගවීමක් ඇති වෙලා මේ සටන් පාඨය එන එකයි, දූෂිත පාර්ලිමේන්තුවක් හරහා මේ සටන් පාඨය ගේන එකයි දෙකක්. මේ ගොල්ලෝ හැමදාම කළේ දක්ෂිණාංශික නායකයෙක් මත විශ්වාසය තියලා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න උත්සාහ කළ එක. දැන් කරන්න හදන්නේ දූෂිත පාර්ලිමේන්තුවක් මත විශ්වාසය තියලා මේක අහෝසි කරන්න උත්සාහ කරන එක. නමුත් කළ යුත්තේ මහජන පෙළ ගැස්මක් හරහා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රශ්නය ගේන එක. එතකොට තමයි දේශපාලන සිරකරුවන් පිළිබඳ ප‍්‍රශ්නය එන්නේ. අතුරුදන්වීම් සහ පැහැර ගැනීම් පිළිබඳ ප‍්‍රශ්නය එන්නේ. එතකොට තමයි මහජන ආරක්ෂක පනතත් ඇතුළු, ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතත් ඇතුලූ මර්දන නීති පිළිබඳ ප‍්‍රශ්නය එන්නේ. එතකොට තමයි ජනතා විමුක්ති පෙරමුණත් අත උස්සලා සම්මත කළ ඇඟිලි ෂලකුණු පනත පිළිබඳ ප‍්‍රශ්නය එන්නේ.
මේක හරහා ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ බල සූදුවක්. මේක සම්මත කර ගත්තොත් ජනාධිපතිවරණයක් නෑ. සම්මත කර ගන්න බැරි වුණොත් කොහොමද 2015 ඒ ගොල්ලෝ ගහගත්තු සන්ධානයේම පොඩි බඩියක්, බජට් පැක් එකක් ගහගන්න පාර හදා ගන්නයි මේ උත්සාහ කරන්නේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කරන මහජන පෙළ ගැස්මක, අඛණ්ඩ උද්ඝෝෂණයක පියවරක් විදියට මෙවැනි ප‍්‍රතිසංස්කරණ ගෙනාවට කමක් නැහැ. නමුත් මෙහෙම අහසින් ප‍්‍රතිසංස්කරණ පාත් කළාට ඒකෙන් ඒවා ගේන අයට වැඩක් වෙන්නෙත් නෑ, ජනතාවට වැඩක් වෙන්නෙත් නෑ. ඒවා දිනන්නත් බෑ.”