බැදුම්කර මුදල් බෙදුවේ කාටද කියලා හොයන්න ජනාධිපතිට ඇත්තටම ඕන නෑ….ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ සද්දයක් නෑ!

0

මහ බැංකු වංචාවෙන් උපයා ගත් මුදල මන්ත්‍රිවරුන් 118 දෙනෙකු අතරේ බෙදා හැරි අවට වන ප්‍රචාරය තවත් රැවටීමක් බවත් මිලියන 3000කට අධික මුදල් ප්‍රමාණයක් බෙදා හැරීමට ටයුතු කර ඇති බවත් “දූෂණ විරෝධී හඬ” කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසනවා.

ඊයේ (03) (03දා) මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේ දි අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ කුප්‍රකට මහ බැංකු බැඳුම්කර වංචාවෙන් මුදල් ගසා කෑ පුද්ගලයන් කවුද යන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හෙළි නොකළොත් ඔහුද එම වංචාවේ කොටස්කරුවකු වනු ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

“පළමු කොමිසම අවසන් වෙලා කාලයක් ගත වෙලා. වහාම දෙවැනි ජනපති කොමිසම දාලා මීට අදාළ තොරතුරු හෙළි කරන්න. පළමු කොමිසමේ වාර්තාවේ පිටු 106ක් ගැලෙව්වා. මෙහි සංවේදී තොරතුරු තියෙන නිසා ඒවාට අදාළව කඩිනම් පරීක්ෂණ කළ යුතුයි කියලා. දැන් ආරංචියි ඒ පිටු 106 නැති වෙලා කියලා.”

“හොරු රකින්න මේ ආණ්ඩුව කටයුතු කරන්නේ. දේශපාලනඥයන්ට, මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතනවලට, තව අයට මේ බැඳුම්කර මුදල් ලබාදී තියෙනවා. මේ වංචා සහගත මුදල්වලින් මිලියන අටදහස් ගණනක් අයිති සේවක අර්ථ සාධක අරමුදලේ සල්ලි. ඒවා වහාම නිදහස් කළ යුතුයි.”

“2015 පෙබරවාරි 27 සිට අප පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම අවස්ථා ගණනකදී මෙන්ඩිස් අරක්කු සමාගමක ගිණුමකින් මුදල් හුවමාරු කරලා තියෙනවා. අධිකරණයට වාර්තා කරපු කරුණු අනුව 166 වතාවක් ගනුදෙනු සිදුවෙලා තියෙනවා. පෞද්ගලික බැංකුවකින් මිලියන 1190ක්. දැන් මේ බැංකුවේ සල්ලි නෑ. අල්ලස් දෙන්න මේවා යොදාගෙන. අර පිටු 106 තුළ මේ රුපියල් මිලියන 1190 බෙදලා දුන්නෙ කාටද කියලා අපිට දැන් පැහැදිලි සැකයක් තියෙනවා. දයාසිරි මන්ත්‍රිගේ ආරක්ෂකයෙක් තමයි මේ මිලියනයක චෙක්පත මාරුකර තියෙන්නෙ. මේ ඉතිරි චෙක් 166 හොයන්න ප්‍රාතිහාර්ය පාන්න අවශ්‍ය නෑ. මේවා හෙළි වූදාට විශාල සුනාමියක් ඇතිවෙලා ඒ අයට පාර්ලිමේන්තුව හැර යන්න වෙයි.”

“අපි අද මේ ගැන සඳහන් කරලා ජනපතිට ලිපියක් යැව්වා. අපේ ජාතික විධායක සභාව එතුමා හමුවෙලා මේ ගැන සාකච්ඡාවක් කරන්න සූදානම්. තැන් තැන්වල ඇලෝසියස්ලාගේ ගෝලයෝ කියලා තියෙනවා මිලියන 1190ක් නෙවේ මිලියන 3000ට වැඩිය බෙදලා තියෙනවා කියලා.”

“දැන් ආණ්ඩුවට වගකීමක් තියෙනවා මේ චෙක් පත් බෙදුවේ කාටද කියලා. හැබැයි හොයන්නෙ නෑ. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටය වගේ ජනාධිපතිත් කටයුතු කරන්නෙ. සමහරුන් අද ඇටිකෙහෙල් ගිලපු උගුඩුවන් වගේ. සද්දයක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය අය අද හැසිරෙන්නෙ බැඳුම්කර වංචාවක් සිදුවුණේ නෑ වගේ.”

“අර්ජුන මහේන්ද්‍රන් තවම සිංගප්පූරු වරෙන්තු තියෙන අය. මේ රටට වහාම ගෙන්වන්න. සිංගප්පූරුව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවකින් මෙය කළ හැකියි. ඒ කිසිවක් කරන්නෙ නෑ. අපි ජනපතිගෙන් ඉල්ලනවා වහාම මේකට මැදිහත් වෙන්න කියලා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here