හොරකම සමාජගත කරපු යහපාලුවෝ ‘බබා පාට්’ දැම්මට ජනතාවට ඒවා’ගොං පාට්’

0

රටේ සම්පූර්ණ ආර්ථිකයම අගාධයට ඇද දැමූ මහ හොරකමට සම්බන්ධ අය පිළිබඳව දැන ගැනීමට අයිතියක් ජනතාවට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත පවසනවා.

අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“දේශපාලනය සහ දේශපාලනඥයා පිළිබඳ මේ රටේ ජනතාව තුළ තිබුණු ගරුත්වය යහපාලන ආණ්ඩුව විනාශ කරලා හමාරයි. පොඩි දරුවගෙ ඉඳලා වියපත් පුද්ගලයා දක්වාම දේශපාලනඥයන් පිළිබඳ සැකයෙන් පිළිකුලෙන් බලන තත්ත්වයක් ඇති කරන තරමට යහපාලනය හොරකම සමාජගත කළා.”

“ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් මේ දූෂිත ගනුදෙනුවලින් නිදහස් වීමට මේ හොර දූෂිත දේශපාලනඥයන් රටට හෙළි කළ යුතුයි. ඒ වගකීම ඔවුන් දෙදෙනාට හිමිවෙනවා. රටේ ජනතා දේපොළ හොරා කාපු දේශපාලනඥන්, රට වනසන විනාශකාරී ව්‍යාපාර කරන හොර තක්කඩින්ගෙන් මුදල් ලබාගෙන දේශපාලනය කරන දේශපාලනඥයන් තවත් විශාල පිරිසක් යහපාලන ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන් රටට හෙළි කිරීමෙන් පමණයි පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්‍ෂා කරගත හැක්කේ. එසේ නොවන තාක් කල් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙසම ජනතාව සැකෙන් බලනවා. එම නිසා පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්‍ෂා කරගැනීමේ වගකීම කථානායකවරයාට පැවරී තිබෙනවා.”

“මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන එය ආසියාවේ ආශ්චර්ය බවට පත් කරමින් සිටි මහින්ද රාජපක්‍ෂ පාලනය පෙරළා දැමීම සඳහා මොන මොන කුමන්ත්‍රණ කළාද? මොන හොර මගඩිවලින් මුදල් වැය කළාද යන්න දැන් දැන් හෙළිවෙන්න පටන් ගෙන තිබෙනවා.”

“රාජපක්‍ෂ පාලනයේ දූෂණ වංචා ගැන කතා කළ සරත් ෆොන්සේකලට තමන් හොරුන්ගෙන් ගත්ත මුදල් ගැන පාපොච්චාරණය කරන්න සිදුවෙලා තියෙනවා. ඒක දුන්නෙ චෙක් එකකින්ද? කාටද දුන්නෙ මතක නැහැ. ළඟ හිටිය අයට දේශපාලනය කරන්න ඒ මුදල දුන්නා කියලා දැන් සරත් ෆොන්සේකා මහත්තයා ‘බබා පාට්’ දානවා. මේවා ජනතාව දකින්නේ ‘ගොං පාට්’ හැටියටයි.”

“රටේ සමස්ත ආර්ථිකයම කඩා වට්ටපු ආසියාවේ ලොකුම හොරකම කරලා ඒ මුදල් බෙදාගත්ත දේශද්‍රෝහීන් කවුද කියලා දැන ගැනීමේ අයිතිය මේ රටේ සෑම පුරවැසියකුටම තියෙනවා. එසේ මුදල් ගත්ත දේශපාලනඥයන් සේම ඇතැම් නිලධාරීන් මේ හොරකම සාධාරණීය කරන්න උත්සාහ කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here