TRCයේ ඉන්නේ කප්පම්කරුවන් …….මාධ්‍ය මර්දනය වහා නතර කරනු! – NMWJ කියයි

0

සැබවින්ම මාධ්‍ය ආයතන වලින් එකතු වන බදු හා ගාස්තු පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අවධානයක් ඇත්නම් කළ යුතු වන්නේ ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් උතුරේ හා කදුකරයේ ක්‍රියාත්මක වන අනවසර කේබල් රූපවාහිනි සේවා තහනම් කිරීම බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය සඳහන් කරනවා.

ඊයේ (11) මරදාන CSR හිදි මාධ්‍ය හමුවක් කැදවමින් එම ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් පවසා සිටියේ එම අනවසර කේබල් රූපවාහිනි තහනම් කිරීමට TRC කටයුතු නොකරන්නේ එම නාලිකා වලින් ඔවුන් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ලබා ගැනීම නිසා බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“පසුගිය මැයි 28 වෙනිදා යාපනයේ දි කලෙයි කතයි පුවත්පතේ මාධ්‍යවේදි සෙල්වරාසා රාජෙන්ද්‍රන්ට පහර දීම හා ඒ පහර දුන් කණ්ඩායම අත්තඩංගුවට ගැනීම පිළිබඳව අපි අපේ බලවත් විරෝධය පල කළා. සෙල්වරාසා රාජේන්ද්‍රන් තම පුවත්පතේ පුවත් පත් රැගෙන යතුරු පැදියේ යමින් සිටියදි යතුරු පැදිවලින් පැමිණි 10 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් ඉතාම තියුණු ආයුධ වලින් පහර දුන්නා. ඔහු තවමත් යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ වම් අතට දැඩි ලෙස හානි සිදු වෙලා සිදුවෙලා තියනවා. තවමත් මේ සම්බන්ධයෙන් කිසිවෙක් අත්තඩංගුවට ගත්තේ නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ කණ්ඩායම් හදුනා ගන්න කියලා. ඒ වගේම අපි කණගාටු වෙනවා දකුණේ නාලිකා ගැන. මොකද අපි දැක්කේ නෑ දකුණේ කිසිම විද්‍යුත් හා මුද්‍රිත නාලිකා මේ සෙල්වරාසා රාජේන්ද්‍රන්ට පහර දීම සම්බන්ධයෙන් වාර්තා කරනවා. ඒ වගේම ඇතැම් වෙබ් අඩවි ඔහු පත්තර බෙදෙන කෙනෙක් ලෙස හදුන්වා තිබුණා. උතුරේ සියළුම මාධ්‍ය සංවිධාන, උතුරේ දේශපාලකයෝ, උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ සම්බන්ධයෙන් විරෝධතා දැක්වූවා දවස් ගණනාවක්. දකුණේ මේ පුවත සම්පූර්ණයෙන්ම වාරණය කරලා තිබුණා. ඒක තමයි මෙතන තියන වැදගත්ම කාරණය. අපි බොහෝම පැහැදිළිව කියනවා මේ වාරණය කිරීම පිටුපස්සේ ඒකාධිපති වියරුව ක්‍රියාත්මක වෙලා තිබුණා. ”

“ඒ වගේම අපි දැක්කා මේ ආණ්ඩුව පත්වෙලා වසර තුනක් ගෙවිලා ඉවර වෙනකොට මේ ආණ්ඩුව මාධ්‍යයට එරෙහිව ඉතා භයානක ලෙස තමන්ගේ හස්තය ක්‍රියාත්මක කරලා තියෙනවා. එදා අගමැතිවරයා විශ්වාසභංගය දිනපු වෙලාවේ සිරස මාධ්‍ය ආයතනය ඉස්සරහා රතිඤ්ඤා පත්තු කරනකොට අපි කිව්වා මේ රතිඤ්ඤා දිහා බලන්න එපා ඒක පිටිපස්සේ තියන භයානක හස්තය දිහා බලන්න කියලා. එදා රතිඤ්ඤා පත්තු කරලා පටන් ගත්ත මාධ්‍ය වියරුව ඉවර වුණේ ටී එන් එල් එකට අත තියලා. TNL සම්බන්ධයෙන් TRC අනුගමනය කළේ අත්තනෝමතික ක්‍රියාවලියක් කියලා අපි බය නැතුව කියනවා. මේ තහනමට දවස් කිහිපයකට පෙර TNL සේවය ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබු එහෙත් ජනාධිපතිවරයාට අමතකව ගිය සිදුවීම් ටිකක් මතක් කර දුන්නා. එහි ප්‍රතිඵලය තමයි TNL පොල්ගහවෙල විකාශනාගාරයට සිල් තැබීම. අපි පැහැදිළිව කියනවා මේක TNL එකට විතරක් තිබ්බ අතක් නෙමෙයි. මේක හෙට දවසේ අනිත් නාලිකා වලටත් තියනවා. ඒ හරහා ආණ්ඩුව පොඩි සිග්නල් එකක් දෙනවා. දැක්කා නේද අපිට බනින්න එපා, අපිව විවේචනය කරන්න එපා. අපිට මඩ ගහන්න එපා. එහෙම කලොත් මෙහෙම වෙයි කියලා.”

“ඒ වගේම මේ වන කොට TRC බරපතළ විදියට මේ රටේ ජාතික ආරක්ෂාව අනතුරේ දාලා තියනවා. ලංකා උතුරු නැගෙනහිර සහ කදුකරයේ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා අනවසර කේබල් ටී. වි සේවා. TRC යටතේ ලියාපදිංචි වෙච්ච නාලිකා අරගෙන බැලුවාම කේබල් ටී වී ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් නාලිකා 4ක් විතරයි තියෙන්නේ. ඒත් අවසානාවට යාපනය දිස්ත්‍රික්කයේ පමණක් කේබල් ටී වී ආයතන 18 ක් තියනවා. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ 4ක් හා අම්පාර දිස්ත්‍රික්කයේ 2ක්, හැටන් ඇතුළු මධ්‍යම කඳුකරයේ ක්‍රියාත්මක වෙනවා 13ක්. මේ කිසිම නා නාලිකාවක් සම්බන්ධයෙන් TRCයට නියාමනයක් නෑ. මොකද ඒවා ලියා පදිංචි වෙලා නෑ. මේ නිසා රටට අහිමි වන බදු මුදල වාර්ෂිකව රුපියල් 2000කට වැඩියි. එහෙම තිබියදි කොහොමද මෙහෙම කේබල් ටිවි පවත්වා ගෙනයන්නේ. බොහෝම පැහැදිළියි ඔවුන් TRC නිලධාරින්ට කප්පම් ගෙවනවා. ඔවුන් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා කප්පම් ගෙවනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here