පාර්ලිමේන්තුවටත් තමන්ගේම කියලා ඉඩමක්………..!

0

ශ‍්‍රි ලංකාවේ ව්‍යවස්ථාදායක බලය ක‍්‍රියාත්මක කරන කේන්ද්‍රස්ථානය වූ පාර්ලිමේන්තුවට අද සුවිශේෂි මෙන්ම ඓතිහාසික දිනයකි. මෙලෙස සුවිශේෂි වීමට හේතු වන්නේ පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගය උදෙසා නියමිත පරිදි සලකුණු කරන ලද විධිමත් පැවරුම් සහතිකයක් ලබාදීම නිසාය.

මෙතෙක් පාර්ලිමේන්තු සංකිර්ණය පිහිටි භූමියේ අයිතිය ලබා දී තිබුණේ සාම්ප‍්‍රදායික නාම මාත‍්‍ර සන්නසක් මඟිනි. ගයන්ත කරුණාතිලක ඉඩම් අමාත්‍ය ධූරයට පත් වීමෙන් අනතුරුව ඉඩම් කටයුතු කඩිනම් කිරීම උදෙසා සාකච්ඡා කිහිපයක්ම පවත්වන ලදී. විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවලට වෙන් කර දී ඇති ඉඩම් ප‍්‍රශස්ත මට්ටමින් කළමනාකරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ. පාර්ලිමේන්තු පිහිටි භූමියේ අයිතිය නීත්‍යානුකූලව හා නිරවුල්ව ලබා දීම පිළිබඳ ඉඩම් අමාත්‍යාංශය හා ඉඩම් කොමසාරිස් ජනරල් දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත සඳහා යුහුසුළුව සිය දායකත්වය ලබා දී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණය පිහිටි භූමි භාගයට හෙක්ටයාර් දහ අටක් අයත් ය. එමෙන්ම එම භූමිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුනක් පුරා විහිදි පවති. ශ‍්‍රි ජයවර්ධනපුර, කඩුවෙල හා මහරගම එම ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයන් ය.

ශ‍්‍රි ලංකාවේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දැන් වසර හැත්තෑවකි. කොල්ලුපිටියේ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිට ක‍්‍රියාත්මක වූ ව්‍යවස්ථාදායකය වර්තමාන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගෙවැදි දැන් දශක හතරකි.

පාර්ලිමේන්තුව පිහිටි භූමි භාගයේ ඓතිහාසික තතු විමසා බලන කල්හි පිටකෝට්ටේ බැද්දගානට ඔබ්බෙන් කොළඹ සිට සැතපුම් දහයක් පමණ නැගෙනහිරෙන් වූ ඓතිහාසික දියවන්නා ඔය මධ්‍යයේ පිහිටා ඇති හෙක්ටයාර් දහ අටක මනරම් භූමි භාගය පාර්ලිමේන්තු සංකීර්ණයට අයත්ය.

දාහතර වන ශත වර්ෂයේ තුන් වන වික‍්‍රමබාහු පාලන සමයේ දී බටහිර වෙරළ තීරය ඔස්සේ රට අභ්‍යන්තරයට එල්ල වූ ආර්ය චක‍්‍රවර්තීන්ගේ යුධ තර්ජනයට මුහුණ දීම සඳහා නිශ්ශංක අලකේෂ්වර සෙනෙවි විසින් එදා ජයවඩනගම නමින් හැඳින් වූ මෙම ප‍්‍රදේශයෙහි දියෙන් වට වූ ස්ථානයක බලකොටුවක් ඉදිකෙරුණු බව ඉතිහාස මූලාශ‍්‍ර වල සඳහන් වේ.

1976 දී මෙරට කීර්තිමත් ජන නායකයන් දෙදෙනෙකු වූ ජේ.ආර්.ජයවර්ධන සහ ආනන්ද තිස්ස ද අල්විස්  සොයා ගියේ සොඳුරු දියවන්නාව මැද පිහිටා තිබූ එම බලකොටුවේම පාදම යැයි මතයක් ද පවති.

එලෙස අලකේෂ්වරලාගේ බලකොටුව ඇසුරෙන් රටේ පාලන මධ්‍යස්ථානය ගොඩනඟන්නට තීරණය කළ ජේ.ආර්. ජයවර්ධන ජනපතිවරයා සිය පක්ෂ මූලස්ථානය වූ සිරිකොත මන්දිරය තැනුවේ ද ඓතිහාසික කෝට්ටේ දිය අගලක මායිම්ව පිහිටි අලකේෂ්වරලාගේ පැරණි සටන් පුහුණු මධ්‍යස්ථානය පැවති භූමියෙහි ම බවට ද සාක්ෂි තිබේ.

ගාලු මුවදොර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ මන්ත‍්‍රින් සංඛ්‍යාව ක‍්‍රම ක‍්‍රමයෙන් වැඩි විණි. ඒ සමඟ ම පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ද සංකීර්ණ විය. 1960 දශකයේ දී නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක අවශ්‍යතාව පළමුව පැන නැඟුණි. ඒ ඩඩ්ලි සේනානායක මැතිතුමාගේ පාලන සමයේ දී ය. කථානායක සර් ඇල්බට් පීිරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායකවරුන්ගෙන් සමන්විත වන පරිදි කමිටුවක් 1967 අප්‍රේල් 04 වැනි දින  ඒකමතිකව තීරණය කළේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් තැනිය යුතු බවයි. එය පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සමාන්තර වන සේ බේරේ වැවට අනිත් පසින් ඉදි කළ යුතු යැයි යෝජනා විය.

අනතුරුව 1970 මහ මැතිවරණයෙන් තේරී පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක අග‍්‍රාමාත්‍යවරිය එවකට පක්ෂ නායකයන්ගෙන් හා කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගෙන් නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක් සකසන  ලෙසට ඉල්ලා සිටින ලදී. එදා එම කටයුත්ත භාරව සිටියේ එඞ්වඞ් රීඞ් සහ බෙග් ආයතනයේ ජෙෆ්රි බාවා මහතාට වුවත් එම ව්‍යාපෘතිය ද අතරමග නැවතුණි.

1976 දෙසැම්බර් මාසයේ දිනක වැලිකඩ ඊ.ඩබ්ලිව්. පෙරේරා උද්‍යානයේ පැවති මහජන රැළියක දී එවකට එක්සත් ජාතික පක්ෂයෙන් කෝට්ටේ ආසනය සඳහා තරඟ කළ ආනන්ද තිස්ස ද අල්විස් මහතා එදවස විපක්ෂ නායක ධූරය දැරූ ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගෙන් ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම නම් එක්සත් ජාතික පක්ෂය බලයට පත් වූ පසු නව පාර්ලිමේනතු ගොඩනැගිල්ලක් ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ නගරයේ දී ඉදි කළ යුතු බවයි. කෝට්ටේ නගරයේ පැවැති අතීත ශ‍්‍රි විභූතිය යළි ඇති කිරීම ද මෙම යෝජනාවේ තවත් අරමුණකි.

ඒ අනුව 1977 මහ මැතිවරණය ජයගත් ජේ.ආර්.ජයවර්ධන මැතිතුමා ශ‍්‍රි ජයවර්ධනපුර කෝට්ටේ මනරම් භූමියක නව ව්‍යවස්ථාදායක ගොඩනැගිල්ල වූ පාර්ලිමේන්තුව පිහිටුවන ලදී. 1979 ජූලි මස 04 වැනි දින කෝට්ටේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය එවකට අග‍්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ලබාදුණි.

එසේ වුව ද පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විධිමත් නිරවුල් පැවරුම් සහතිකයක් මෙතෙක් නොතිබිණි. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේ අද කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දීමට කටයුතු කළ පැවරුම් සහතිකයෙන් ශ‍්‍රි ලංකාවේ උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවට හා එම සංකීර්ණය සතු භූමි භාගයන්ට නිරවුල් නීත්‍යානුකූල අයිතයක් හිමි වනු ඇත. මේ අනුව රටේ නීති සකසන උත්තරීතර ආයතනය වන ශ‍්‍රි ලංකා පාර්ලිමේන්තුවට භූමියේ නිරවුල් නීතිමය හිමිකම ජුනි 05 වන අගහරුවාදා සිට සහතික වනු ඇත.