ආණ්ඩුවට දකුණේ පාතාලය ගැන තියන උනන්දුව උතුරේ කොටි ගැන නෑ!

0

දකුණේ පාතාලය මර්දනය කිරීමට ආණ්ඩුවට ඇති උනන්දුව උතුරේ නැගෙමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමට නොමැති බව එක්සත් ලංකා ජනතා පක්ෂයේ නායක නිහාල් ප්‍රේමකුමාර පවසනවා.

කොළඹ මහජන පුස්තකාලයේදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සඳහන් කළේ දහස් ගණන් රණවිරුවන්ගේ ජීවිත පූජා කොට පරාජය කළ එල්ටීටීඊ ත්‍රස්තවාදය, සංහිඳියාවට මුවා වී යළි හිස එසවීමට ඉඩදීම අහස පොළොව නුහුලනා මහා අපරාධයක් බවයි.

“එදා යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් ‍දොරේ අප්පා ඝාතනය කරමින් කොටි ත්‍රස්තවාදය ඇරඹුණා. මෙදා එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රිවරයා ඝාතනය කිරීමට ගන්නා උත්සාහයන් අනාවරණය වී තිබෙනවා. විරුද්ධ මතධාරීන් විනාශ කරමින් යන මේ ගමනට නොපමාව තිත තැබිය යුතුයි. නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරොවෙන් කපන්න සිදු වුණොත් ඒ ව්‍යසනයට වන්දි ගෙවීමට සිදු වන්නේ මේ රටේ දුප්පත් ජනතාවට පමණයි.”

“දකුණේ පාතාලය නැති කිරීමට තිබෙන උනන්දුව තරම්වත් උතුරේ නැඟී එන කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට වුවමනාවක් ආණ්ඩුවට නැහැ. හමුදා කඳවුරු ඉවත් කරලා හමුදා කාණ්ඩ විසුරුවා හැරලා බුද්ධි අංශ දුර්වල කරලා රටේ ජාතික ආරක්ෂාව සලසන්න බැහැ.”

“මේ දිනවල ජිනීවා මානව හිමිකම් සමුළුව රැස්වී තිබෙනවා. ඊළාම් හිතවාදී බෙදුම්වාදී සංවිධාන 14කට වැඩි ප්‍රමාණයක් ඊට සහභාගි වෙමින් වෙනම රටකට අවශ්‍ය මතවාදය ගොඩනඟනවා. ඒත් ඊට මුහුණ දෙන්න ආණ්ඩුවේ අවධානයක් නැහැ. මේ රට පාලනය කෙරෙන්නේ කාගේ වුවමනාවකටද කියලා ප්‍රශ්නයක් බහුතර ජනතාවට තිබෙනවා.”

“මේ රට තුළ නීතිය කාටත් එකයි කියලා කිව්වට ක්‍රියාත්මක වීමේදී එවැන්නක් ප්‍රකට නොවන බවට අදහසක් සමාජගත වී තිබෙනවා. විශේෂයෙන් බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැති බව පෙනෙනවා. හොරු ඇල්ලීමට අතහිත දෙමින් පැමිණි පිරිස හොරු බවට පත්වෙලා. බැඳුම්කර ගනුදෙනුව හරහා එය දිගින් දිගටම අනාවරණය වෙනවා.”

“හිට්ලර් පාලනයට විරුද්ධව ඇතැමුන් විවිධ කතා කියනවා. ඒත් පළමු ලෝක යුද්ධයෙන් හාන්සි වූ ජර්මනිය දෙපයින් නැඟී සිටෙව්වේ හිට්ලර් බව සඟවනවා. අපි හතුරකුගෙ වුවත් හොඳ දේවල් තියෙනවා නම් ඒවා ආදර්ශයට ගෙන රට ගොඩනඟා ගත යුතුයි. ලිච්ඡවී පාලන ක්‍රමය ගැන කතා කරන අය වසර තුනකට අධික කාලයක් පළාත් පාලන මැතිවරණය පැවැත්වූවේ නැහැ. දැන් පළාත් සභා මැතිවරණයත් කල් දමා තිබෙනවා. හිට්ලර් මැතිවරණ පැවැත්වූවේ නැහැ. මේ ආණ්ඩුව හිට්ලර්ගේ හොඳ දේවල් පාඩම් ලෙස නොගෙන නරක දේවල් පාඩම් ලෙස ගන්නවා. ඒ නිසයි හාමුදුරුවරුන්ට ‍දොස් කියන්නෙ.”