ආණ්ඩුවේම තැටිය වයන නිව්යෝක් ටයිම්ස් වාර්තා අසත්‍යයි….පිළිගන්න බෑ…..!

0

ආණ්ඩුවේ නිරීක්ෂණ වාර්තාවකින් තොරතුරු ලබා ගනිමි සකස් කළ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව සම්පූර්ණයෙන් ම ප්‍රතිකේෂ්ප කරන බව ඒකාබද්ධ විපක්ෂම් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.

ඊයේ (28) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව විමසීමට තුන්දෙනෙක් සිටින බවත් ඒ සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා හා චයිනා හාබර් ආයතනය බවත් ය.

“පසුගිය දවසක සෑම මාධ්‍යයකම වාර්තා කර තිබුණා මුලටියන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී සාගල රත්නායක ඇමැතිවරයා විසින් මන්ත්‍රිවරයෙක් ගැටලුව ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ ගැටලුවට විසඳුම් ලබාදෙනවා වෙනුවට තර්ජනය කරනවා ඒ මන්ත්‍රිවරයාට සභා රැස්වීමට පැමිණීමට අයිතියක් නැහැ කියලා. අපි ආණ්ඩුවේ සිටින කාලයේ අපි කවදාවත් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට සහභාගි වීම විපක්ෂයේ කණ්ඩායම්වලට වැළැක්වූයේ නැහැ. ඒ සියලු දෙනාගේ මතයට ගෞරව කරලා තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පැවැත්වූවේ.”

“ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍යයක් වුණු නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තා වෙලා තිබුණා හම්බන්තොට වරාය ඉදිකිරීමේදී සිදු වූ කටයුතු පිළිබඳවත්, මැතිවරණ සමයේ ලබාදුන් මුදලක් පිළිබඳවත් චෝදනාවක් විස්තරාත්මක වශයෙන්. මෙහි මූලික කරුණු කිහිපයක් සඳහන් කරමින් කියා තිබෙනවා හම්බන්තොට වරාය පිළිබඳ ශක්‍යතා වාර්තාවක්වත් ලබානොගෙනයි කටයුතු කළේ කියලා. එය පළමුවෙන්ම අපි ප්‍රතික්ෂේප කරනවා. මෙහි ශක්‍යතා වාර්තාව ප්‍රථමයෙන්ම ලබාගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා 2002 අගමැතිවරයා වශයෙන් කටයුතු කළ කාලයේදී ඕස්ට්‍රේලියානු සමාගමකින්. ඒ වගේම 2003දී මුල්ගලකුත් තියනවා. නමුත් එය යථාර්ථයක් බවට පත්වෙන්නේ මහින්ද රාජපක්ෂ යුගයේදී. 2009 වසරේ අපේ ආණ්ඩුවෙන් ශක්‍යතා වාර්තාවක් ලබාගන්නවා බි්‍රතාන්‍ය සමාගමකින්. එම ශක්‍යතා වාර්තාවට අනුව සියලු දේ සම්පූර්ණ කරලා තමයි හම්බන්තොට වරාය හදන්නේ. මේ ශක්‍යතා වාර්තා දෙකේ වෙනසක් තිබෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහතා 2002 ලබාගත් වාර්තාවට වැඩිය 2009 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කරලා ලබාගත් ව්‍යාපෘති ශක්‍යතා වාර්තාවේ මුදලේ අඩුවක් තිබෙනවා.

“ඒ වගේම තමයි තවත් චෝදනාවක් එල්ල වෙනවා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් පොම්ප කළා කියලා. මේ ගැන කරුණු ලබාගන්න පුළුවන් පුද්ගලයෝ තුන් දෙනෙක් ඉන්නවා. එක් අයෙක් තමයි සුසිල් ප්‍රේමජයන්ත මහතා. එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා. මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණයේ සංවිධායක කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ ඔහු. දෙවැනි පුද්ගලයා ශ්‍රී ලනිප හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා. තුන්වැනි පුද්ගලයා තමයි මුදල් ලබාදුන් බවට චෝදනා නැඟෙන චයිනා හාබර් කියන ආයතනය. ඒ නිසා ආණ්ඩුවට පුළුවන්කම තිබෙනවා මේ තුන්දෙනා මුණගැහිලා නිවැරැදි තොරතුරු ලබාගැනීමට.”

“නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා මේක ආණ්ඩුවේ පරීක්ෂණ වාර්තාවකින් ලබාගත් බව. අපි මේ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.” මන්ත්‍රිවරයා සඳහන් කළා.