බෙදන්න කියලා සාරි ඔරලෝසු මහින්ද මටත් දුන්නා…ඒවා තාම ගෙදර තියනවා…NYT කිව්වේ ඇත්ත

0

නිව්යෝක් ටයිම්ස් පුවත් පත සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චීනයෙන් මැතිවරණයට මුදල් ගත් බව තමා විශ්වාස කරන බවත් මැතිවරණයට පෙර බෙදා හැරීමට ලබා දුන් ඔරලෝසු , සාරී තවමත් තමා සතුව පවතින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යය දුමින්ද දිසානායක සඳහන් කරනවා.

අමාත්‍යයවරයාගේ නිවසේදී අද (1)  පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් ලබා ගෙන ඇති බවට කරන හෙළිදරව්ව පැහැදිලිවම ඇත්තක් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ ලිපියේ තිබුණ දේවලුත්, ප්‍රායෝගිකව සිදු වුණ දේවලුත් බොහෝම ඇත්ත. මොකද  ඔරලෝසු , සාරී  මටත් ලැබුණා, තාමත් මං ළඟ ඒවා තියෙනවා’

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන සමාගමකින් අල්ලස් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවූ  බව කියන පුවත මමත් මාධ්‍ය මගින් දැක්කා. විශේෂයෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා එවැනි ගනුදෙනුවක් සිදුවෙලා තියෙනවා නම් , මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් එම චීන සමාගම විශාල මුදලක් ලබාදී තිබෙනවා නම් , එය බොහෝ විට අල්ලසක් ලෙස තමයි අපි දකින්නේ.”

“ඒ නිසා ආණ්ඩුවේ බළධාරීන්ට විශාල වගකීමක් තියෙනවා මේ පිළිබඳව කරුණු සොයා බැලීමට. ඒ වගේම මට පුදුමයක් තියෙනවා මේ පුවත දැන් එළියට ඇවිත් දින කිහිපයක් වෙනවා තාමත් ආණ්ඩුව පැත්තෙන් කථා කරන්නේ නෑ, ඒ නිසා ආණ්ඩුව මීට වඩා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.”

“අඹ ගෙඩි දෙකක් හොරකම් කළත් හිරේ දානවා පුංචි පුංචි හොරකම් ගැන කථා කරනවාට වඩා මේ විදිහට විශාල මුදලක් වංචා වෙලා තිබෙනවා නම් ඒ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න කියලා මම ආණ්ඩුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

“අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ වැඩි වෙන කාලයට බඩු මිල වැඩි කරන්නත්, අඩුවෙන කාලයට බඩු මිල අඩු කරන්නත් කියන එක. ඒක ප්‍රායෝගික ක්‍රමයක්. ඒ නිසා ගෑස් මිල රුපියල් 138 කින් අඩු වුණා. මේක ජනතාවට විශ්වාසය තැබිය හැකි ක්‍රමයක්.”

“ගෑස් මිල හදිස්සියේ අඩු කලේ පළාත් සභා මැතිවරණයක් ඉලක්ක කර ගෙන නෙමෙයි. ගෑස් මිල අඩු කලේ මැතිවරණයක් බලා ගෙන කියලා කවුරු හරි හිතනවා නම් ඒක මම හිතන්නේ දේශපාලනය නොදන්නා කෙනෙකුගේ තර්කයක් ඒක.”

“නමුත් පළාත් සභා මැතිවරණය ඉතාම ඉක්මණින් තියන්න කියලා අපි කියනවා. අපිට පළාත් සභාව කවුද ජයග්‍රහණය කරන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නය. පළාත් සභාව පාලනය කරන්න දේශපාලඥයෝ අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍යය කරන්නේ සාධාරණ ක්‍රමයකට නිවැරදි ක්‍රමයකට, පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here