රතුපස්වල විතරක් නෙමෙයි වැලිකඩ වෙඩි තියලා මැරුවෙත් ගෝඨාභය රාජපක්ෂයි!

0

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ජාතික පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් මගින් රාජපක්ෂ පවුලේ  බල අරගලය එලියට පැමිණ ඇති බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“උතුරේ යුධ හමුදාව ඒ විශාල මෙහෙයුම කරනකොට වෙඩි තිබ්බේ මගේ නියෝග වලට අනුව. මම කෙලින්ම අධීක්ෂණය කරලා යුධ භූමියට ගිහිල්ලා දුන්න නියෝග වලට අනුව. ඒ සියල්ල ක්‍රියාත්මක වුණේ ජාත්‍යන්තර නීතියට අනුව. හමුදා විනයට අනුව. හැබැයි මම බැසිල් රාජපක්ෂට මතක් කරලා දෙන්න ඕන. රතුපස්වල වෙඩි තියන්න නියෝග දුන්නේ මම නෙමෙයි. රතුපස්වල වෙඩි තියන්න නියෝග දුන්නේ ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ සාමාන්‍යයෙන් නියෝග දෙනකොට එයාට ජාත්‍යන්තර නීතිය අදාළ නෑ. රටේ විනය අදාළ නෑ. හමුදා නීතිය අදාළ නෑ. එයාට ඕන වෙලාවට මිනිස්සු මරන්න පුළුවන්. ඕන කෙනෙකුට වෙඩි තියන්න පුළුවන්. රතුපස්වල විතරක් නෙමෙයි නේ අර හිර ගෙදර ඇතුලෙත් 35 දෙනෙක්ට වෙඩි තියලා මැරුවේ ලයිස්තුවක් දීලා ගෝඨාභය රාජපක්ෂ. බැසිල් රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ කරන දේවල් හමුදාවේ අය යුධ මෙහෙයුම් වලදි කළා කියලා සංසන්දනය කරන්න යන එක ඉතාම නිවට බියගුළු වැඩක්.”

“ගැටුමක් නම් තිබ්බා ඒ තුන්දෙනා අතරේ, අපි දන්න කාලයෙත් අපි ලගින් ආශ්‍රය කළ කාලයෙත් ඔය තුන්දෙනාගේ බිරින්දෑ තුන්වරි එකට වාඩි කළොත් තුන්දෙනා තුන් පැත්ත බලාගෙන ඉන්නවා. පැය දෙකක් හිටියත් කතා කරන්නේවත් නෑ වචනයක් වත්. ඒ පරණ කෝන්තර තවමත් ඇති.”

මේ අතර පසුගියදා අද පුවත්පතට අදහස් දක්වමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කළේ, වැරදි නිවැරදි කර ගැනීමෙන් තොරව දිනනවා යනුවෙන් පැවසීමෙන් සිදුවන්නේ පරාජයට පත් වීම පමණක් බවත් සුළු ජාතින් අතර පවතින විරසකය අවසන් නොකොට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති බවත් ය.

“රතුපස්වල මේ පාර ඡන්ද 3500කින් දිනුම්. මම ගමට ගිහිල්ලා සමාව ඉල්ලුවා. වෙඩි තියලා තිබුණ ආකාරයට පල්ලියේ බිත්ති ඉවරයි. ඉස්කෝලේ යන ළමයිනේ වෙඩි වැදිලා මියගියේ. අපේ ශාඛා සමිතිවල සාමාජිකයන්ගේ කකුල් 21ක් වෙඩි වැදිලා කැඩිලා තිබුණා. එතකොට මට වුණත් හිතෙනවා මුන් උතුරේ ගිහින් කොහොම මරන්නැද්ද කියලා. ඒක මහා අමානුෂික දෙයක්.” ඔහු එම පුවත්පතට පවසා තිබුණා.