විශ්ව විද්‍යාල අර්ථසාධක මුදලත් බැදුම්කරේට ආයෝජනය කිරීමේ තවත් මගඩියක්!

0

විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල’ නමින් අරමුදලක් පිහිටුවීම යන නමින් විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලේ මුදල් බැදුම්කරවල ආයෝජනය කිරීමේ මුවාවෙන් අති දැවැන්ත වංචාවක්  සිදු කර ඇති බව පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසනවා.

එම පක්ෂයේ ප‍්‍රධාන පක්ෂ කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 89, 90, 91, 92, 93, 94, 95, 96 වගන්තිවලට අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවකයන් සඳහා ‘විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල’ නමින් අරමුදලක් පිහිටුවීමට බලතල ලබාදී තිබෙනවා. මේ විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදලේ මුදල් බැදුම්කරවල ආයෝජනය කිරීමේ මුවාවෙන් අති දැවැන්ත වංචාවක් සිදුකර තිබෙනවා. මෙයින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවටත් විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලටත් විශාල පාඩුවක් සිදුවී තිබෙනවා.”

“මෙම වංචාව සිදුවන්නේ බැදුම්කර වංචාව සිදුවනවාට සමාන්තරවයි. මහා බැඳුම්කර වංචාව සිද්ධවුණේ 2016 පෙබරවාරි 27 වැනිදා. එම බැදුම්කර වංචාව සිදුවනවාත් සමඟම විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව තමන්ගේ අරමුදල් පාවිච්චි කරල බැඳුම්කර මිලදී ගැනීමක් සිදුකර තිබෙනවා. පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මහබැංකුවෙන් බැදුම්කර මිලදීගත්තේ රු.112 බැගින්. රුපියල් 112 බැගින් ගත් බැදුකර විනාඩි කිහිපයක් තුළ රු. 121 මිලකින් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ අර්ථසාධක අරමුදලට විකුණා තිබෙනවා. රු.112ට ගත් බැඳුම්කර විනාඩි කිහිපයක් තුළ රුපියල් 9ක ලාභයක් සහිතව රු. 121ටයි විකුණා තිබෙන්නේ. ඒ මොහොතේම පෞද්ගලික ආයතනයක් වුණු  ඩොයිෂ් බැංකුවට බැඳුම්කර විකුණා තිබෙන්නේ රු.113ටයි. ඒ අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව රු.121ක නොවටිනා මුදලකටයි බැඳුම්කර මිලදීගෙන තිබෙන්නේ. මේ කි‍්‍රයාවලිය හරහා රුපියල් මිලියන 146 ක අලාභයක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට සහ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට සිදුවී තිබෙනවා. විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදල හරහා පළමුවර කළ ගනුදෙනුවේදී පමණක් රුපියල් මිලියන් 5ක මුදලක අලාභයක් සිදු වී තිබෙනවා. මේ වනවිට කැෆේ සංවිධානය ඇතුලූ අනෙකුත් සංවිධාන විසිනුත් විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ සමිති සම්මේලනය විසිනුත් ඉදිපත් කළ සංඛ්‍යාලේඛන වලට අනුව මේ වන විට රු. මිලියන 146 පමණ අලාභයක් සිදුවී තිබෙනවා.”

“2017 අයවැය ඇස්තමේන්තුවට අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව සඳහා වෙන්කරලා තිබෙන්නේ රුපියල් මිලියන  42000 (හතලිස් දෙදාහයි*. රජයෙන් ප‍්‍රතිපාදන රුපියල් මිලියන 42000ක් වෙන්කරද්දී මෙම වංචාව නිසා වුණු පාඩුව අවම වශයෙන් රුපියල් මිලියන් 1000 (බිලියනයක්* පමණ වනවා. ඒ කියන්නෙ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට වෙන් වුණු සෑම රුපියල් හතලිස් දෙකකින්ම රුපියල බැගින් මේ අලාභයට පාත‍්‍රවෙලා තිබෙනවා. ”

“මේ වෙද්දී මෙම පාඩුව පියවාගන්න හදන්නේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලේ ප‍්‍රතිලාභීන්ගෙන්. 2013 අවුරුද්දේදී ඔවුනට පොලී අනුපාතික ලබාදුන්නා සියයට 13.5 ක්. 2014 අවුරුද්දේ සියයට 15ක් ලබාදුන්නා. නමුත් 2015 අවුරුද්දේ දීලා තිබෙන්නේ සියයට 11යි. සීඝ‍්‍ර කඩාවැටීමක් වෙලා තිබෙනවා පොලී අනුපාතික වල. 2016. අවුරුද්දේ දී තිබෙන්නේ සියයට 11.3 යි. 2017 පොලිය දී තිබෙන්නේ සියයට 10.5යි. අති විශාල ලෙස අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතික කපාදමා තිබෙනවා. මේ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත්, අනධ්‍යයන කාර්ය මණ්ඩලවලටත් ලැබිය යුතු ලැබිය යුතු අර්ථසාධකය අහිමි වෙලා තිබෙනවා. උදාහරනයක් විදිහට, කාලයක් රැුකියාවේ නිරත වුණු විශ්වවිද්‍යාල කථිකාචාරවරයෙක්ට රුපියල් ලක්ෂ 50ක් පමණ හිමි විය යුතු අර්ථසාධකය රුපියල් ලක්ෂ හත හමාරක් පමණ මුදලක් අහිමිවෙලා තිබෙනවා. අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයෙකුට ලක්ෂ තුනහමාරක් පමණ අහිමි වෙලා තිබෙනවා. මේ ආකාරයට බැදුම්කර මිලදීගැනීමෙන් වුණු  පාඩුව මුලූමනින්ම දරාගන්න වෙලා තිබෙන්නේ විශ්වවිද්‍යාල සේවකයන්ට, ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලවට. මෙය පැහැදිලිවම කම්කරු අයිතීන් උල්ලංගනයක්.”

“විශ්වවිද්‍යාල සේවකයන්ගේ අර්ථසාධක අරමුදල් යොදාගෙන සූදු කෙලින්න විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට බලය පැවරුවේ කවුද? මෙවැනි බලය පැවරීමකට විශ්වවිද්‍යාල පනතෙහි කිසිම ප‍්‍රතිපාදනයක් නෑ. එනිසා මේ ආණුඩුව ආවට පස්සේ 2015 මාර්තු 17 ගැසට් නිවේදනයක් ගැහුවා. එයට අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොම්ෂන් සභාවේ අරමුදල් පිටස්තරව ආයෝජනය කිරීමේ බලය පවරපු කමිටුවක් හැදුවා. කමිටුවේ සාමාජිකයින් වන්නේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම්වරයා සහ එම කොමිසමේ මූලික මුල්‍ය බලධාරියා වන ගණකාධිකාරවරයායි. මෙම ගැසට් එක ගැහුවේ අතීතයට බලපාන පරිදියි. ඒ 2015 මාර්තු 11 වනදා සිට බලපැවැත්වෙන අයුරින් තමා ගැසට් එක ගැහුවේ. ඒ වෙද්දී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සිටියේ කබීර් හෂීම් ඇමතිවරයායි. එනිසා කබීර් හසීම් හිටපු උසස් අධ්‍යාපන ඇමතිවරයා අනිවාර්ය යෙන් පිළිතුරු සැපයිය යුතුයි. මෙතෙක් නොතිබූ මේ ආකාරයේ කමිටුවක් හැදුවේ ඇයි, ඒ කමිටුව හදපු පළමු ඇසිල්ලේම කරපු බැදුම්කර ගනුදෙනුව නිසා අති විශාල පාඩුවක් සිදුවන්නේ ඇයි. විශේෂයෙන්ම අර්ජුන ඇලෝසියස්ගේ පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේන් බැදුම්කර මිලට ගැනීම සඳහා මේ තීරණ ගත්තේ කවුද?”

“දැන් මිලියන 1000ක්  අලාභවෙලා තිබෙනවා මේ අලාභය දරාගන්න වෙලා තිබෙන්නේ ආචාර්යවරුන්ට සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලවට. මෙය පැහැදිලි කම්කරු අයිතීන් උල්ලංගනයක්. මේ අර්ථසාධක අරමුදල හැදිල තිබෙන්නේ ආචාර්යවරුන්ගෙන්, අනධ්‍යන සේවකයන්ගෙන් වැටුපෙන් කපාගත් මුදල්වලින්. ඒක මේ විදිහට වංචා කරන්න ආණ්ඩුවට කිසිදු අයිතියක් නෑ. මේ වංචාවේ පාඩුව අදාල නිලධාරීන්ගෙන් සහ ඇමැතිවරුන්ගෙන් අය කරගන්නේ නැතුව විශ්වවිද්‍යාල සේවකයන්ට පැටවීම බරපතල වැරැුද්දක්. අපිට පැහැදිලි සැකයක් තිබෙනවා අර්ථසාධක අරමුදල් විතරක් නෙවේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමට ලැබුණු මුදල් මේ විදිහට අපයෝජනය කළ බවට. මේ විදිහට මහපොල භාරකාර අරමුදලේ අරමුදල් වංචා කළා. මේ ගැසට් එකෙන්ම මේ  සඳහා අධීක්ෂණ කමිටුවක් පත්කරල තිබෙනවා.  උපකුලපතිවරයෙක්, ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක්, කලමනාකරණ මහාචාර්යවරයෙක්, රජයේ නියෝජිතයෙක්ගෙන් මේ අධික්ෂණ කමිටුව සෑදී තිබෙනවා. මේ අධික්ෂණ කමිටුව මාස හයකට වරක් කමිටුවේ කටයුතු අධීක්ෂණය කරල සිදුවී තිබෙන දේ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුයි. නමුත් අවුරුදු 3ට වඩා වැඩි කාලයක් ගෙවිලා තිබෙනවා මෙම අධීක්ෂණ කමිටුව කිසිම වාර්තාවක්  ඉදිපත්කර නෑ සිදු වූ වංචාව පිළිබඳව. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ප‍්‍රතිපාදන වෙනත් ආයතනවල ආයෝජනයට බලය පැවරූ මෙම මේ තී‍්‍ර පුද්ගල කමිටුව අවුරුදු 3ක් වෙලත් තම වාර්තා කිසිවකුත් අධීක්ෂණ කමිටුවට ඉදිරිපත්කර නෑ.”

“එනිසා මෙතන පැහැදිලි වංචාවක් තිබෙනවා. මෙම කමිටුව හදන වෙලාවේ විෂය භාර ඇමතිවරයා විදිහට කබීර් හෂීම් ඇමතිවරයා තමන්ගේ අදහස් කියන්න  ඕන. කලින් මාධ්‍ය ඉස්සරහා කියපු බොරු කිව්වා. මෙය සිද්ධ වන විට ඔහු උසස් අධ්‍යාපන ඇමති නොවන බව පැවසූවා. අපි කියනවා ගැසට් එක ගැහුවේ මාර්තු 17 ගැසට් එක කි‍්‍රයාත්මක වෙන්නේ මාර්තු 11 සිටයි. ඒ වන විට උසස් අධ්‍යාපන ඇමාත්‍යවරයා කබීර් හෂීම්. එමෙන්ම සමහර සංවිධාන හෙලිදරවු කරල තිබුණා, අර්ජුන ඇලෝසියස්, මලික් සමරවික‍්‍රම සහ කබීර් හෂීම් යන තුන්දෙනා එකතුවෙලා එදින උදේ සාකච්ඡුාවක් පැවැත්වු බව. ඒ මෙම මුදල් ආයෝජනය සම්බන්ධයෙනුයි. එනිසා මෙතන සිද්ධවෙලා තිබෙන්නේ මහබැංකුවේ මුදල් විතරක් නෙවේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ මුදලූත් බරපතල විදිහට අපයෝජනය වෙලා තිබෙනවා.”

“මේ ආකාරයට වංචාව සිද්ධවුණේ  මේ ආකාරයට පාඩු සිද්ධවුනේ විශ්වවිද්‍යාල අර්ථසාධක අරමුදලට විතරන් නෙවේ. මීට පෙර සේවක අර්ථසාධක අරමුදලට, සේවක භාරකාර අරමුදලට, රක්ෂණ භාරයට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට බැදුම්කරවල ආයෝජනය කිරීම හරහා දැවැන්ත පාඩුවක් සිද්ධ වුණා. ගණනය කරපු විදියට ආයතන හතරට රුපියල් බිලියන 8.7ක මහා වංචාවක්. මේ ආයතන හතරම මේ වංචාවට එරෙහිව නඩු පැවරුවා. හැබැයි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මේ වංචාව පිළිබඳ නඩු පවරලා නෑ. එනිසා අපට තිබෙනවා බරපතල ප‍්‍රශ්න ගණනාවක්. 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත හරහා අවුරුද් 40ක් යනකම් වංචාවක් වූ විටදී තිබුණෙ නැති අලූත් කමිටුවක් 2015 අවුරුද්දේ පිහිටුවීමට විශේෂ හේතු වහාම පැහැදිලි කළ යුතුයි. ඒ වගේම මෙම ගැසට් එකේ පරිදි මේ කමිටුව පිහිටුවද්දී සහ අධීක්ෂණ කමිටුව පිහිටුවද්දී ගැසට් එකේ දී තිබූ වගකීම් කිසිවක් වසර 3ක් යනතුරු ඉටු නොකිරීම පිළිබඳ ගත්ත කි‍්‍රයාමාර්ග මොනවද කියල පැහැදිලි කළ යුතුයි. ඒ වගේම විශ්වවිාද්‍යාල අර්සාධක අරමුදලේ මුදල් ආයෝජන කටයුතුවල යෙදෙද්දී මෙතෙක් ලංකා බැංකුව හරහා සිදුකළ ආයෝජන කටයුතු එක්වරට 2015 අවුරුද්දේ ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා කිරීම සඳහා තීරණය කිරීමට හේතුව පැහැදිලි කළ යුතුයි. අනෙකුත් මෙවැනි මූල්‍ය වංචා සිදු වූ ආයතන ඊට එරෙහිව නඩු පවරා තිබුනත්, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොම්ෂන් සභාව මෙම වංචාව පිළිබඳ නඩු නොපැවරූයේ කුමක් නිසාදැයි පැහැදිලි කළ යුතුයි . මේ වංචාව සැඟවූයේ ඇයි? හෙලිදරවු නොකෙරුණේ ඇයි.”

“මේ සිද්ධ වූ වංචාව පටවන්න දෙන්න බෑ විශ්වවිද්‍යාල සේවකයන් මත.  එනිසා මේ පොලී අනුපාතික කැපීම වහාම නැවැත්විය යුතුයි. කලින් 2014/ 2018 අවුරුදුවල ගෙවූ ආකාරයට පොලිය ගෙවිය යුතුයි. ඒ වගේ දැනට ඔවුන්ගෙන් කපාගත් හිග මුදල් ඔවුන්ගේ ගිනුම්වලට ඇතුලත් කළ යුතුයි. අර්ථසාධක අරමුදලට පාඩුවක් සිදුවී තිබෙනවා නම්, මේ වංචාව ට වගකිව යුතු බලධාරීන්ගෙන් සහ අදාල අමාත්‍යවරුන්ගෙන් මේ මුදල් අයකරගත යුතුයි. දැනටමත් මේ සම්බන්ධයෙන් හෙලිදරව්වක් කරල තිබෙනවා. සතියක් පමන දැන් ගතවෙලා තිබෙනවා. නමුත් මේ වන විට ආණ්ඩුව කිසිදු උත්තරයක් මේ පිළිබඳ ලබා දී නැහැ. එනිසා වහාම උසස් අධ්‍යාපන ඇමතිවරයා මේ සම්බන්ධ පිළිතුරු ලබා දිය යුතුයි. මෙය සිදු වූ වකවානුවේ උසස් අධ්‍යාපන ඇමත්වරයාව සිටි කබීර් හෂීම් අමාත්‍යවරයා මේ සඳහා පිළිතුරු ලබාදිය යුතුයි. අපි ආණ්ඩුවට බල කරනවා. මේ සම්බන්ධ වහාම පරීක්ෂණයක් පවත්වන්න.”

“මේ සම්බන්ධ සාධාරණය ඉටුකරගැනීම සඳහා අපි ආරාධනා කරනවා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට, විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට බලකිරීම් ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියලා. ඒ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විදිහට අපගේ උපරීම සහයෝගය ලබා දෙනවා.”