පොහොට්ටුව විනාශ වෙනකම් බලා හිටියට ඒක පිපිරෙන්නෙත් නෑ, පුපුරන්නත් බෑ

0

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තුළ බල පෙරලියක් ඇති වී පක්ෂය පුපුරා යන තෙක් ආණ්ඩුව බලා සිටියද එවැනි දෙයක් සිදු නොවන බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජි එල් පීරිස් පවසනවා.

ඊයේ (02) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මරියා හබීබ් මාධ්‍යවේදිනිය පළ කළ ලිපිය පැහැදිලිව පෙන්වා දීලා තිබෙනවා ඒ සඳහා සී.අයි.ඩී. වාර්තාවකට අනුව ඒ ලිපිය ලියා ඇති බව. මේ සම්බන්ධයෙන් මේ රටේ නීතියට අනුව අපි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.”

“රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයන්, ඒකාබද්ධ විපක්ෂයේ නායකයා එකහෙළාම ප්‍රකාශ කර තිබෙනවා මහින්ද රාජපක්ෂ මහතා නම් කරන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම පිළිගෙන ඔහුගේ විජයග්‍රහණය සඳහා සියලු දෙනා උපරිම මට්ටමින් කැපවන බවට. රාජපක්ෂ පවුල තුළ භේදභින්න ඇති කිරීමට, ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර මත ගැටුම් ඇති කිරීමට මේ දරන කූට උපක්‍රමය කිසිසේත්ම සාධාරණ වන්නේ නැහැ.”

“එළැඹෙන දින කිහිපය තුළ අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරාධනා කරලා තිබෙනවා මේ කාර්යාලයට එන්න කියලා. ඔහු දැනටමත් මේ රටේ විද්වතුන් සහ වෘත්තිකයන් සමඟ සුහදතාවක් ඇතිකර ගනිමින් වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යනවා. එළිය සංවිධානය ගෙන යන වැඩමුළු ඉතාමත් සාර්ථකයි. දැන් කාලය ඇවිල්ලා තිබෙනවා ඔහුට සෘජුව දේශපාලනය සඳහා මැදිහත් වීමට. එය ප්‍රායෝගික වශයෙන් ඉතාමත් වැදගත් සිද්ධියක්. කිසිම මතභේදයක් රාජපක්ෂ පවුල තුළ හෝ ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අතර නැති බව පැහැදිලිව සඳහන් කළ යුතුයි. මහින්ද රාජපක්ෂ මහතා පැහැදිලිව සඳහන් කර තිබෙනවා ඉදිරියේදී පැවැත්වෙන සියලු මැතිවරණ සඳහා පොහොට්ටුව ලකුණ යටතේ බව.”

“ශ්‍රී ලනිපයෙන් ඉවත් වූ 16 දෙනා පසුගියදා මෙම කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඔවුන් පැහැදිලිව සඳහන් කළා මින් ඉදිරියට 16 කණ්ඩායමක් ගැන කතා කරන්න එපා. එහෙම කණ්ඩායමක් නැහැ කියලා. ඒකාබද්ධ විපක්ෂය සමඟ 70 දෙනෙක් ලෙස එක්වී මින් පසුව කටයුතු කරන බවත් පැහැදිලිව ප්‍රකාශ කළා. නොවැම්බර් මාසයේදී මේ සියලු දෙනාම එක් කරගනිමින් පොදුජන පෙරමුණේ සම්මේලනය අපි පවත්වනවා.”