LTTE ඡන්ද වලින් හරි පාර්ලිමේන්තු එන්න හදන විජේකලාට එරෙහිව පියවර ගන්න

0

රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් සිදුකරන ලද ප්‍රකාශයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස ජනාධිපතිවරයාටත් පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස කථානායකවරයාටත්, එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධානියා ලෙස අගමැතිවරයාටත් දැනුම් දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපති  ශාන්ත බණ්ඩාර පවසනවා.

ඊයේ (03) නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව සඳහන්කළා .

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි උපලේඛනය අනුව රටේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීමටත් රට දෙකඩ කිරීම සඳහා රට තුළ හෝ ඉන් පිටතදී කිසිදු ඉඩ තැබීමක් නොකරන බවටත් විශේෂ දිවුරුමක් දෙන බවත් විජයකලා මන්ත්‍රිවරිය එම දිවුරුම අමු අමුවේම උල්ලංඝනය කර ඇති බවත් ඔහු සඳහන් කළා.

“ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනව වගේම අගමැතිවරයාට අපි කියනවා ඇය එ.ජා.ප. මන්ත්‍රිවරියක් නිසා විනය පරීක්‍ෂණයක් තැබිය යුතුයි කියලා. මෙතුමියගේ ස්වාමිපුරුෂයා මහ දහවල් මරලා දැම්මා L.T.T.E සංවිධානය අද එතුමියට හොඳ වුණේ කොහොමද කියන එකයි අපිට තියෙන ප්‍රශ්නය. එතුමියගේ දරුවෝ පියා නැතිව වින්ද දුක ගෙදර ඇතුළේ ඉඳගෙන දැක්ක කෙනෙක් එතුමිය, ඒ වගේම ඇය මවක්, ඊටත් වඩා එතුමිය මේ රටේ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිවරිය. අපි පුදුමයට පත් වෙනවා එතුමිය මේ කරන්නේ ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට එන්න ඡන්ද ටික හදාගන්න එක විතරමයි. L.T.T.E හිතවාදීන් හරි කමක් නෑ ඡන්ද ටික අරගෙන එතුමිය පාර්ලිමේන්තු එන්නයි මේ හදන්නේ.” ඔහු සඳහන් කළා.