බල්ලාගේ වැඩේ කළා……, බූරුවාගේ වැඩෙත් කරන්න……!

0

යහපාලන රජය බලයට පත් වූයේ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ සිදුවූ අසාධාරණ කම් මැඩ පවත්වමින් මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ ප්‍රතිඥාවක් සමග බව අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරනවා.

ඊයේ (04) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදුවු බරපතළ මූල්‍ය වංචා ගැන හෙලි කළ නිව්යෝක් ටයිම්ස් පුවත්පතට සහය දැක්වූ ලංකාවේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් තම විශේෂ අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා මෙහිදි සඳහන් කර සිටියා.

ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරින් වහාම පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් එම නිවේදනය දක්වනවා.

මාධ්‍යවේදීන් තම රාජකාරින් නිසි පරිදි සිදු කිරීමේදී සිදුවන මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් තම විශේෂ අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන් මෙම ක්‍රියාව පිළිබඳ සම්පූර්ණ වගකීම දැරිය යුතු අතර මෙවැනි ක්‍රියා නැවතත් ඇති නොවීමට වගබලා ගත යුතු බවත් පසුගිය රජය සමයේ ජනමාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඝාතනයට ලක් වීම්, එමෙන්ම ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීම්, අතුරුදන් කිරීම්, තර්ජන එල්ල කිරීම් සහ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම් විශාල ප්‍රමාණයක් වාර්තා වුණ අතර එවැනි අඳුරු යුගයක් නැවතත් උදා නොකිරීම තම රජයේ බලාපොරොත්තුව බවත් අමාත්‍යවරයා නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ අතර පසුගිය දා මංගල සමරවීර අමාත්‍යවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානි තුසිත හල්ලොලුව SLVOLG මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් මෙතක් කිසිදු පියවරක් නොගෙන ඇති අතරම රාජපක්ෂවරුන් මෙන්ම තමා යටතේ සිටිමින් ඇමති බලය අනිසි ලෙස භාවිතා කරන නිලධාරින් සම්බන්ධයෙන් ද මෙලෙසම අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

Mangala Samaraweera