හිට්ලර් සමග ප‍්‍රභාකරන් ඉල්ලන අපේ මෝඩකම

0

යාපනයේ සාම්ප‍්‍රදායික දේශපාලනයේ විජයකලා මහේස්වරන් තරමක ආන්දෝලනාත්මක චරිතයකි. මීට දින 03 ට ඉහතින් ජූලි 03 වන අ`ගහරුවාදා පාර්ලිමේන්තුවේ ඇතිවූ බරපතල නොසන්සුන්තාවට හේතු වන්නේත් ඇය ය. ඒ ගාලගෝට්ටිය නිසා කතානායක විසින් පසුදින තෙක් පාර්ලිමේන්තුව කල් තබන ලදී. එයට පාදක වූයේ යාපනයේ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීනි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේස්වරන් ඊට පෙර දින කළ ප‍්‍රකාශයකි. ‘‘ජනාධිපති ජනතා සේවය’’ වැඩ සටහනෙහි 08 වන ජන හමුව යාපනයේ වීරසිංහම් ශාලාවෙහි පැවති විට ඇය ‘‘කොටි සංවිධානය’’ වර්ණනා කරමින් කළ කතාව උසාවි යන්නටද හේතුවී ඇත. එදින පාර්ලිමේන්තුව කල් තැබීමට අමතරව, කතානායක කරු ජයසූරිය ඇයගේ කතාව නීතිපතිගේ අර්ථ දැක්වීමටද යොමු කළේය. යාපනයේ එම උත්සවයට ජනාධිපති සිරිසේනට අමතරව, මලික් සමරවික‍්‍රම හා වජිර අබේවර්ධන ඇමතිවරුන්ද සහභාගි විනැයි වාර්තා විය. විජයකලා මහේස්වරන් සාමාන්‍යයෙන් වග විභාගයක් නැතිව කතා කරන්නියක් යැයි යාපනයේ දෙමළ ජනතාව අතරද මතයක් ඇත. එහෙත් ඇයගේ මේ කතාව වගකීමකින් තොර නොමේරු දේශපාලන කතාවක් වූවත් එයට කොළඹදී ලැබුණු ප‍්‍රතිචාරය විකාරරූපි ප‍්‍රතිචාරයක් වූවකි.

ඇයගේ ‘‘කොටි’’ කතාවට විරෝධය පාමින් පාර්ලිමේන්තුවේ පෙරළි කළ ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍‍රවරුන් ‘‘හිට්ලර් කෙනෙකු’’ සඳහාවූ දකුණේ සිංහල බෞද්ධ යෝජනාවට හීන් හ`ඩකින් හෝ විරුද්ධ නොවූහ. බලය ලබා ගැනීමට හැකි නම් ඔවුන් ලොව ම්ලේච්ඡුම නායකයෙකු වූ හිට්ලර් වර්ගයේ අපේක්ෂකයෙකු වුවද වැළඳ ගැනීමට සූදානම්ය. එහෙත් දෙමළ දේශපාලනඥයින්ට හිට්ලර්ගේ ‘‘පොඩි මලයා’’ ගැන කතා කිරීමත් තහනම්ය. මේ අතාර්කික පරස්පරයෙහි ඇත්තේ ඒකාධිපතිත්වයට හෝ රට බෙදීමට ඇති විරෝධයක් නොව එවැන්නක් අලෙවිකර දකුණේ සිංහල ඡුන්ද ගොඩ ලොකු කර ගැනීමේ අති බාල උත්සාහයකි. ඒ වෙනුවෙන් හිරිකිතයක් නැතිව නීති තර්ක හදමින් උසාවි යන්නට ඉදිරිපත්වන නීතිඥයින්ද ඇත.

එනමුත් ඉකුත් අ`ගහරුවාදා උදය ‘ලංකාදීප’ වෙබ් පුවත් පිටුවෙහි වාර්තාකර තිබූ අයුරු යාපනයේ ජනාධිපති ජනතා සේවය උත්සවයේදී විජයකලා මහේස්වරන් අවධාරණය කර ඇත්තේ නීතිය බිඳ වැටීමෙන් විශේෂයෙන් කාන්තාවන්ට හා ළමුන්ට මුහුණ දීමට සිදුව ඇති බරපතල අවදානම හමුවේ නිරුත්තරව ඉන්නා දෙමළ ජනතාව සඳහා ඇය දකින විසඳුමය. ‘‘උතුරේ කාන්තාවන් බරපතල වශයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙනවා. මෑතක යාපනයේ සය හැවිරිදි පාසල් දැරියක ඝාතනය කළා. එල්.ටී.ටී.ඊ සංවිධානය සක‍්‍රීයව සිටීයා නම් මේ වගේ ඉරණම් අත්වෙන්නට කිසිදු ඉඩක් නැහැ.’’ යැයි ඇය කියා ඇත. ඇය දෙමළෙන් කළ කතාව සිංහලට නගා තිබූ එම වාර්තාවට අනුව ඇයගේ පැහැදිලි කිරීම වූයේ ‘‘අප ජීවතුන් අතර සිටීමට නම්, අපට මහ මග නිදහසේ ඇවිදීමට නම්, අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම්, උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුයි’’ යන්න ය.

මේ කතාවේ අරුත, දකුණේ නායකත්වයට හිට්ලර් වැනි නායකත්වයක් ඉල්ලා සිටීමේ අරුතට වෙනස් නැත. මෙවර ඇය ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊය ගැන කතා කරන්නේ ‘‘රට බෙදීමට’’ නොවේ. ඊළමක් හැදීමට නොවේ. ඇය යෝජනා කරන ‘‘කොටි සංවිධානය’’ සරළව ගතහොත්1990 දී කරටිය කඩා දැමූ පසු හීලෑවී කැලෑවෙන් එළියට පැමිණි ජ.වි.පෙ වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොදන්නා නමුත් විනයක් ඇතැයි සිතන සංවිධානයකි. ඇය කතා කරන්නේ ඔවුන්ට අවශ්‍යව ඇති අපරාධ වලින් තොර ආරක්ෂාවක් ඇති නිදහස් ජීවිතයක් සඳහාවන කොටි සංවිධානයකි. අස්ගිරි මහ නිකායේ අනු නායක වෙ`ඩරුවේ උපාලි හිමි උන්වහන්සේගේ හිට්ලර් කතාව පසුව පැහැදිලි කර තිබූයේද එවැනිම හේතු දැක්වීමකිනි. රට ගෙන යාමට මේ යුගයේ අවශ්‍ය වන්නේ වහා තීන්දු ගත හැකි, නීතිය අකුරට කි‍‍රයාත්මක කරන්නාවූ නොසැළෙන අධිපති නායකත්වයක් බැව් කීමෙනි.

එවැනි බලහත්කාර පාලන වෙනුවෙන් එළිපිට පෙනී සිටින්නට, තම ස්වාමියා ප‍්‍රභාකරන්ගේ අනුමැතිය ඇතිව ඝාතනය කරනු ලැබී යැයි සැළකෙන වගකිව යුතු උතුරේ දෙමළ ඇමතිවරියක් හා දකුණේ සිංහල බෞද්ධ සමාජයේ උත්තරීතර නිකායක අනු නායක වහන්සේ නමක් වන වෙ`ඩරුවේ උපාලි හිමි ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ තනි කැමැත්තටම නොවේ. එවැනි පාලනයකින් තොරව විසඳුම් නැතැයි යන සමාජයේ දිගින් දිගටම ගොඩ නැගෙමින් ඇති විකල්ප මතයක් දැඩිව විශ්වාස කිරීමට ඔවුන්ටද එකතුකර ගත හැකි වූ හේතු සාධක සමගින්ය. එය තේරුම් නොගෙන මේ දෙපළට දොස් නැගීමේ හා විරුද්ධවීමෙන් සමාජීය ප‍්‍රතිපලයක් ලැබෙන්නේ නැත. අන්තවාදී යැයි හෝ බෙදුම්වාදී යැයි හෝ මේ දෙදෙනා හෙළා දුටු පමණින්, ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් විසඳුම් නැති රටක සමාජ මානසිකත්වය වෙනස් කළ නොහැකිය. ඒ සඳහා අවම තරමින් යහපත් පසුබිමක් හැදෙන්නේද නැත.

සමාජීය ප‍්‍රශ්න ඔඩු දුවමින් සමාජ පැවැත්ම සමග තම ජීවිත අවදානමකට තල්ලූ වන කාලයන්හි ඒ සඳහා පොදු පිළිගැනීමක් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී විසඳුම් ඉදිරිපත් නොවන විට සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් යැයි ඉදිරිපත් කෙරෙන විසඳුම් සතු කිසිදු පලයක් අර්ථයක් නොමැති විට, ‘‘සොඳුරු අඥාදායකයෙකු’’ ඉල්ලා සිටීම අපට පමණක් සීමාවන අලූත් අදහසක් යෝජනාවක් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු එවැනි සාර්ථක ‘‘ආඥාදායකයෙකු’’ ලෙස ආර්ථික වර්ධනයක් ලැබූ සිංගප්පූරුවෙහි පියා ලෙස සැළකෙන ලී ක්වාන්-යූ පිළිගනු ලබන්නේය. හිට්ලර් එසේ නොවී අවමානයට හා පිළිකුලට පත් වන්නේ ඔහු කතා කළ පිරිසිදු ආර්ය ජාතික බලසම්පන්න ජර්මනිය හැදීමට ඔහු අසමත් වූයෙනි. එබැවින් ඔහු ගැන කතා කිරීමට ඉතිරි වූයේ ඔහුගේ කුරිරු, හිතුවක්කාරී අමනුස්ස විනාශය පමණි. පොල් පොට්ටද එයම විය. ‘‘හිට්ලර් ලේබලය’’ නොවැදී ස්ටැලින් යම් පමණකට ගොඩ ආවේ, ඔහුට ඇමෙරිකානු බලයට එරෙහි සෝවියට් බලය පිටු පස සැ`ගවීමට හැකි වූයෙනි. 1961හමුදා කුමන්ත‍්‍රණයකින් බලයට පැමිණ තමන්ගේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් 1963 දී ජනාධිපති වූ දකුණු කොරියාවේ පාක් චුං-හී ගේ දරුණු ඒකාධිපති පාලනය ගැන කතා නොවන්නේද ඔහු දෙවන ලෝක යුද්ධයෙන් පසු දෙකඩවී ඉතිරිවූ ඉතා දිළිඳු රටක් ලෙස පැවති දකුණු කොරියාව70 දසකය වනවිට ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කළ හෙයිනි.

විසඳුම් සොයා ගැනීමට වෙ`ඩරුවේ උපාලි හිමි ‘‘හිට්ලර්’’ ලේබලය යොදා ගන්නේත් දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් ප‍්‍රභාකරන්ගේ එල්.ටී.ටී.ඊය අවශ්‍ය යැයි විජයකලා මහේස්වරන් කියන්නේත් එවැනි සම්මිශ‍්‍රිත ලෝක අත්දැකීම් අසන්නට දකින්නට ලැබෙන පසු බිමකය. අපේ රටේ උතුරු-නැගෙනහිර මෙන්ම දකුණේ ජනතාවටද තමන්ගේ ප‍්‍රශ්න වෙනුවෙන් වැදගත් යැයි පිළිගත හැකි විසඳුම් නොමැති පසු බිමකය. එවැනි අතරමංවීමක අප රටක් ලෙස නතරව ඉන්නේ අද ඊයේ සිට නොවේ. අවුරුදු 30 ට ආසන්න යුද්ධයකට හසුව ඉන් නොමැරී ගැලවුනු දෙමළ ජනතාව ඔවුන්ගේ ජීවිත සඳහා විසඳුම් ඉල්ලන්නේ මහේස්වරන් ඇමතිනිය කියු අයුරු 2009 මැයි මාසයේ සිටය. ඒ වෙනුවෙන් ඔවුන්ද බුරුතු පිටින් හවුල් වී ඡුන්දය දී පත්කර ගත් මේ ආණ්ඩුවෙන්ද විසඳුම් නොලැබෙන්නේ යැයි ඇය ජනාධිපති ඉදිරියේම කියා තිබුණි. ඇයගෙන් ප‍්‍රකාශයට පත් වූ දෙමළ ජනතාවගේ අසහනයෙහි ඉවසීමේ සීමාව සටහන් වූයේ, ආණ්ඩුවේ සාමාජිකාවක් ලෙස අදහස් ඉදිරිපත් කිරීමේ සීමාවක් තිබුණද අද දෙමළ ජනතාව වෙනුවෙන් ඒ සීමාව ඉක්මවා යෑමට තමන්ට සිදුව ඇතැයි ඇය කියූ කතාවෙහිය.

දකුණේ සිංහල සමාජයේ අති බහුතරයගේ කතාවද ඊට වැඩි වෙනසක් නැත. ආදායම් තත්ත්වය බිඳ වැටීමේ සිට, ළමුන්ගේ හිස් අරුතක් නැති පාසල් අධ්‍යාපනය, මහ මග රස්තියාදු කෙරෙන මගී ප‍්‍රවාහනය, අවශ්‍ය විට වෛද්‍යවරුන්, ෙඖෂධ සහ ඇඳන් නැති රෝහල් සහ සෞඛ්‍ය සේවය, සෑම වසරකම ලක්ෂයකට ආසන්න තරුණ මව්වරුන් හා තරුණියන් මැද පෙරදිග ගෘහ සේවයේ ඛේදවාචකයට තල්ලූ කෙරෙන ග‍්‍රාමීය දිළිඳුකම, කොළඹ නගරයේ ඉහළ පෙල මහල් නිවාස සංකීර්ණ හා යෝධ වාණිජ සංකීර්ණ වෙනුවෙන් ඉවතට තල්ලූ කෙරෙන නාගරික දුප්පත්කම, වැනි අතොරක් නැති ජීවිත ගැටළු වෙනුවෙන් දසක ගණනාවක සිට දකුණේ බහුතරයටද විසඳුම් නැත.

ඒ අතරතුර පිහිටක් පැතීමට, සාධාරණත්වය ඉල්ලා සිටීමට ඇති අධිකරණ කි‍්‍රයාවලියද අද සමාජ විශ්වාසය අහිමි කරගත් කි‍්‍රයාවලියක් බවට පත් වූවකි. නීතියේ ආධිපත්‍ය ගැන විශ්වාසය තැබිය හැක්කේද දේශපාලන හෝ මුදල් බලය ඇත්තේ නම් පමණි. නීතිය රැුකිය යුත්තන්ගේ ලොක්කන් අතර කොන්තරාත් මිනීමැරුම් හා විවිධ අපරාධ වෙනුවෙන් චෝදනා ලබන වුන් සිටීම, සාධාරණ සමාජයක් පිළිබඳ බලාපොරොත්තු පොළොවේ ගසා විනාශ කරන්නක් වැනිය. රටේ ඉහළම විධායකයේ සිට පහළ ග‍්‍රාම සේවා නිලධාරි තනතුර දක්වා සමස්ථ රාජ්‍ය සේවාවම අද රීතියක් ලෙස ¥ෂිත වූවකි. මහජන ඡුන්දයෙන් පත් කෙරෙන ව්‍යවස්ථාදායකය බරපතල ලෙස හෑල්ලූවට ලක් වූ හා ජනතා පරමාධිපත්‍ය යන්නෙහි කිසිදු වැදගත්කමක් ඉතිරි නොකළ නියෝජන ආයතනයකි.

මේ වනවිට ඉතිරිව ඇති දේශපාලන පක්ෂ යනු කිසිදු ජන සහභාගිත්වයක් නොමැති කොළඹ කේන්ද්‍රීය ජාවාරම්කාර කල්ලි විසින් හසුරුවනු ලබන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොදන්නා සහ නොසළකන ඒකාධිපති සංවිධාන ව්‍යුහයන්ය. අද වන විට සියලූ රාජ්‍ය හා සමාජීය ආයතන හා සංවිධාන මේ ¥ෂිත දේශපාලනීකරණයට යටත්වී හමාරය. වැදගත් යැයි සිතන හැම වෘත්තියක්ම, හැම රාජ්‍ය ආයතනයක්ම, හැම සේවාවක්ම¥ෂිතවී, දේශපාලනීකරණයවී අහවර ය. ඒ කිසිත් ස්වාධීන කොමිසම් මගින් ගොඩ දැමිය නොහැකි බැව්, පසුගිය තෙවසරක කාලය තුල ස්වාධීන කොමිසම්වල කි‍්‍රයාකාරිත්වයෙන්ම ඔප්පු කර ඇත.

දසක කිහිපයක් පුරා හැම පැත්තෙන්ම එවැනි ගරා වැටීමකට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව හසුව ඉන්නා මේ රටේ දිග හැරෙන සමාජ ආර්ථික හා දේශපාලන අර්බූද සඳහා විසඳුම් සෙවීම වෙනුවට ඊළග ජනාධිපතිවරණය සඳහා සිංහල බෞද්ධ ජනාධිපති අපේක්ෂකයින් සෙවීමේ අනුවණකම රජ වී ඇත. කොළඹ නාගරික ඉහළ මැද පංතිය හා ¥ෂිත සල්ලිකාරයින් පෙරමුණ ගන්නා ඒ හැම සිංහල බෞද්ධ තේරීමක්ම මානව හිමිකම්, වගවීම්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පොරොන්දු සමග ඉදිරිපත් කෙරුණු තේරීම් වූ නමුත් ඒ ජනාධිපතිවරුන්ගෙන් හා ආණ්ඩු වලින් කිසිවක් නොවූයෙන් දකුණේ ඊළග සිංහල බෞද්ධ තර්කය වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත හැර දමා හයිය ඇති සිංහල බෞද්ධ නායකයෙකු සෙවීමය. වෙඩරුවේ උපාලි හිමිගෙන් හිට්ලර් කතාව කියැවෙන්නෙ එබැවින් ය. ‘කැත්තට පොල්ල’ මෙන් සිටිය හැකි නොසැළෙන නොනැමෙන නායකයෙකු අවශ්‍ය යැයි මතයක් කොළඹ ඉහළ මැද පංතිය හා අතිශය ¥ෂිත ජාවාරම්කාරයින් අතර හැදෙන්නේද ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතා වලට මෙතෙක් වැදගත්කමක් නොලැබූණු බැවින්ය.

එහි විලෝමය දෙමළ සමාජයේ හැදෙන්නේ කොළඹ සිංහල මැද පංතිය හා ¥ෂිත ජාවාරම්කාරයින් යෝජනා කරන  සිංහල බෞද්ධ ‘‘හිට්ලර්’’ කෙනෙකු වෙනුවට ඔවුන්ගේම දෙමළ ‘‘ප‍්‍රභාකරන්’’ කෙනෙකු යළි සෙවීමෙහිය. සිංහල සමාජයේ පැහැදිලිව මතු නොවන කුල ප‍්‍රකාශනයක්ද එහි ඇත. ප‍්‍රභාකරන් සමයේ බලහත්කාරයෙන් යටපත් කර තිබූ ඉහළ ‘‘වෙල්ලාල’’ කුලයේ බලය විශේෂයෙන් යාපනය හා වන්නිකරයේ දැන් නැවත මතුව ඇත. ‘‘වෙල්ලාල’’ බලය ද්‍රවිඩ ජාතික සන්ධානයේ පමණක් නොව, වෙළඳ හා වාණිජ සමාජයේද යළි තහවුරුව ඇතැයි උතුරුකරයේ ඇති ප‍්‍රධාන මැසිවිල්ලකි. කණස්සල්ලකි. පොදු සමාජයේ ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බූද සඳහා පිළිගත හැකි විසඳුම් නොමැති හෙයින් ඔවුන් නැවත හැරෙන්නේ වඩා යහපත් යැයි ඔවුන් සිතන්නාවූ හා ඔවුන් දන්නාවූ විසඳුම වෙතය.

හිට්ලර් හා ප‍්‍රභාකරන් වැනි මෘග ඒකාධිපතියන් සොයා යෑමේ සිංහල හා දෙමළ සමාජයේ මැද පංතික ප‍්‍රවණතාවයට උත්තර දිය හැක්කේ එවැනි යෝජනා ඉදිරිපත් කරන කණ්ඩායම් වලට හා පුද්ගලයින්ට පහර ගැසීමෙන් නොවේ. එයට උත්තර දිය හැක්කේ විසඳුම් නැතිව අවුරුදු ගණන් පල් වෙමින් ඔද්දල් වෙමින් ඇදෙන සමාජීය ගැටළු සඳහා තිරසර විසඳුම් සෙවීමෙනි. දකුණේ සිංහල සමාජයේ බහුතරයට බලපාන්නාවූ අධ්‍යාපනය සෞඛ්‍ය මගී ප‍්‍රවාහනය ග‍්‍රාමීය හා නාගරික දිළිඳුකමට සහ ඔවුන්ගේ නිවාස ප‍්‍රශ්නයට ඔවුන්ගේ මාසික ආදායමට උත්තර සෙවිමෙනි. ඒ ගැටළු සියල්ල සමග යුද්ධයෙන් හෙම්බත්වූ දෙමළ ජනතාවගේ සුවිශේෂී ප‍්‍රශ්න සඳහා වහා විසඳුම් ඉදිරිපත් කිරීමෙනි. එය මග හැර යළි සිංහල බෞද්ධ හිට්ලර්ලා මගින් විසඳුම් සෙවීමේදී දෙමළ සමාජය යළි ප‍්‍රභාකරන් ගැන කතා කිරීම බලාපොරොත්තු විය යුත්තකි. ප‍්‍රශ්න සඳහා සාධාරණ විසඳුම් නොමැතිව එය මෘග ලෙස තලා දැමිය හැකි යැයි සිතීම අතිශය භයානක මෙන්ම අනුවණ බොළඳ අදේශපාලනික සිතුවිල්ලකි.

කුසල් පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here