නොදන්න දේ කරන්න ගිහිල්ලා කැබිනට් එක හත්පොලේ ගා ගත්තා…..අවුරුදු 3 කෙකර ගාලා දාපු විගණනේ ආණ්ඩුවේම සැළැස්මක්!

0

පසුගියදා ඒකමතිකව සම්මත කළ විගණන පනත ආණ්ඩුවට අවශ්‍ය පරිදි සකස් කර ඇති බවත් එයින් සම්පූර්ණයෙන්ම විගණන කොමිසම අක්‍රිය වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති පවසනවා.

ඊයේ (08) ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක්දි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා සඳහන් කළේ නොදන්නා දෙයක් කරන්න ගොස් කැබිනට් මණ්ඩලයද හත් පොළේ ගාගෙන ඇති බවයි.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“මේ ආණ්ඩුව දින 100 තුළදී ජාතික විගණන පනත සම්මත කරන බව කිව්වා. මේ ගැන විවිධ පාර්ශ්ව සාකච්ඡා වුණා. 19 වැනි සංශෝධනය යටතේ කොමිසම පත් කළත් එය අක්‍රිය වී තිබුණේ. මොකද විගණන පනත ඒමේ ප්‍රමාදය නිසා. පසුගියදා මෙය පාර්ලිමේන්තුවේ සම්මත වුණා.”

“මේ පනත අවස්ථා කිහිපයක කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වුවත් මෙය ආණ්ඩුවට ඕනෑ විදියට තමයි සකස් කර තිබෙන්නෙ. විගණකාධිපති සිට දෙපාර්තමේන්තුවේ වැටුප් පවා ගැටලුවකට ලක්වෙලා. මේ පනත නමක් හැටියට හරි පාර්ලිමේන්තුවේ සම්මත වීම ගැන පුදුමයක් නෑ. නමුත් මෙය පනතක්ද? මුල් පනත තිබුණේ විගණකාධිපතිට විගණන කොමිසමට ජාතික ආයතනයක් බවට පත් කරලා අවශ්‍ය නම් රජයේ ආයතනයක් සමඟ බැඳුණු පෞද්ගලික ආයතනයක කටයුතු පවා සොයා බලන්න හැකියාව තිබුණා. අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය තුළදී රජයේ ආයතනවල යම් පරීක්ෂාවක් කළ හැකිව තිබුණා. හැබැයි දැන් මේ සම්මත කළ පනතින් අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය විගණකාධිපතිගෙන් ඉවත් කරලා.”

“රාජ්‍ය ව්‍යාපාර, ආයතන, සංස්ථා මණ්ඩලවල අභ්‍යන්තර ක්‍රියාවලිය සෙවීම, විධානයක් දීමට විගණකාධිපතිට බලයක් නැද්ද? එය වැරැදිද? මේ පනතේ තියෙන අපූර්වත්වය තමයි ආණ්ඩුව දඩය දානවා. ආණ්ඩුවම දඩය අය කරනවා. ලක්ෂයට තිබූ දඩය ආණ්ඩුව 5000 කරනවා. වැරැදි තොරතුරු සපයන කෙනකුට අවම දඩය 5000යි. කියද්දී ආණ්ඩුව කියනවා නෑ උපරිම දඩය 5000 යිලු. හොරකම් පාලනය කරන්න මේ පනත ගෙනාවේ නම් ඇයි විගණකාධිපති නියම කරන ලක්ෂයක දඩය 5000 කරන්නේ? හේතුව මේ ක්‍රියාවලියම හැදුවේ ආණ්ඩුව විගණන කොමිසම අක්‍රිය කිරීමයි. මේකත් සේනක බිබිලෙ ඔෟෂධ ප්‍රතිපත්තියට කළ දෙයක්. මේ රාජ්‍ය මූල්‍ය දේපළ අපහරණ කළ වැරැදි තොරතුරු විගණන දෙපාර්තමේන්තුවට සපයන අයට කළ දඩය පමණයි. අපි කෑගහලා කෑගහලා යන්තම් ඒ දඩය රු. 25,000 දක්වා වැඩි කරගත්තා.”

“ඇට,මස්, ලේ, නහර අයින් කර ආණ්ඩුව මේ පනත අක්‍රිය කරන්න යන නිසා අපි මීට සංශෝධන 16ක් ඉදිරිපත් කළා. ආණ්ඩුව අපේ සංශෝධන අරගෙන ආණ්ඩුවේ වගේ ඉදිරිපත් කළා. “මගේ කලිසම උගෙ වගේ ඇඳගෙන උෟ අගේට යනවා වගේ” වැඩක්.”

“විගණන කොමිසමේ සභාපතිටත් වෙන්නෙ මැතිවරණ කොමිසමේ සභාපතිට වූ දේමයි. මොකද මැතිවරණ කොමිසමේ සභාපතිටත් අහන්න වෙලා ඡන්ද තියන්නෙ කවද්ද, මං ගෙදර යන්නද කියලා. උන්න හැටියට මළා මදැයි කියලා පනතක් හරි ආපු එක හොඳයි. අවුරුදු 3ක් තිස්සෙ කෙකර ගාලා දාපු බිත්තරේ ඔහොමයි. දැන් අපිට මේ හරහා පාර්ලිමේන්තුවේ කෑ ගහන්න හරි පුළුවන්.”

Sunil Handunnetti

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here