ඔන්ලයින් ෂොපින් කරන්න ස.තො.සෙන් අවස්ථාවක්!

0

සතොස පිරිවැටුම රු. බිලියන 31 ක ඉහළ අගයක් ලබා තිබෙන බවත්  ඉදිරි මාස 06 තුළ සතොස භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍ය රිෂාද් බදුයුදීන් පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ලංකා සතොස වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

“ලංකා සතොස පසුගිය වසරේදී වාර්ෂික පිරිවැටුම බිලියන 31 දක්වා වර්ධනය කර ගැනීමට සමත් වුණා.  එය 2016 වසර සමඟ සංසන්දනය කරන විට සියයට 15% ක වර්ධනයක් බව සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. අපි ලංකා සතොස අලෙවිසැල් ජාලය ඔස්සේ අඩුම මිළට, ප්‍රමිතියෙන ඉහළ පාරිභෝගික භාණ්ඩ පරිභෝගිකයින්ට ලබා දෙනවා.අපේ රටේ ජීවන වියදම තීරණය කිරීමේ ප්‍රධාන යාන්ත්‍රණය වන්නේද ලංකා සතොසයි. ඒ වගේම ඉදිරි කාලය තුඝ ලංකා සතොස විද්‍යුත් වාණිජ්‍ය (E – commerce)උපයෝගී කර ගෙන ගණුදෙනු කිරීමට සැලසුම් කිරලා තිබෙනවා. එය 2019 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා මේ මඟින් භාණ්ඩ වෙළෙඳාම කිප ගුණයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා.”

“ඒ අනුව අපි ලබන වසර වන විට දැනට පවතින ලංකා සතොස අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, සතොස ජංගම රථ අලෙවිසැල් සංඛ්‍යාව වැඩි කිරීමටත්, මෙගා අලෙවිසැල් ජාලය තවදුරටත් ව්‍යාප්ත කිරීමටත්, බලාපොරොත්තු වෙනවා. දැනට අපිට ලංකා සතොස අලෙවිසැල් 398 ක් තිබෙනවා. එහි සේවය කරන සේවක සංඛ්‍යාව 5000 ක් පමණ වෙනවා. අපි ඉදිරි කාලය තුළ මේ සේවක පිරිස මනා ලෙස වැඩිදුර පුහුණුවක් ලබා දීමත් ඔස්සේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, එමඟින් සතොස ඵලදායීතාය වැඩි කිරීමටත් අපේක්ෂා කරනවා,” අමාත්‍යවරයා පවසා සිටියා.

ලංකා සතොස වෙබ් අඩවිය www.Lankasathosa.org හරහා මේ පිළිබඳ විස්තර ලබා ගත හැකිය.