දැන් දැන් ලංකාවේ තියෙන්නේ දිව හතේ දේශපාලනය….!

0

2020 දි එක්සත් ජාතික පක්ෂය රටේ සංවර්ධනය බාර ගන්නේ එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.

මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මිරාකර්නිහි ඉදි වූ ‘සම් සම් ග්‍රාමම්’ සහ ‘සකාත් ග්‍රාමම්’ උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“අලුතෙන් සැරැසී ඉෆ්තාර් උත්සවවලට එන පිරිසගෙන් පරිස්සම් වන්න. එළියට පෙන්වන ප්‍රතිරූපය ඔවුන්ගේ හදවතේ නැහැ. ඒ දිව හතේ කටුස්සන්ට මේ රටේ ජනතාව රැවටෙන්නට එපා කියා මා කියනවා. මේ රටේ ජාති, ආගම් භේදයට කිසි විටෙක අප ඉඩ තබන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අඩංගු ඒ ප්‍රතිපත්ති කිසි විටෙක කඩ කරන්නේ නැහැ. අප සෑම විටම මේ රටේ සියලුම පුරවැසියන් ආරක්ෂා කරන්නට, ශක්තිය ලබා දෙන්නට, ජන ජීවිතය සුරක්ෂා කරන්නට යහපාලන ආණ්ඩුවේ ගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා හා අප දිවි පරදුවට තබා ඇප කැප වී කටයුතු කරනවා. ”

“මේ රටේ ජනතාව විවිධ දේශපාලනඥයන්ගේ විවිධ කතා අසා තිබෙනවා. බොහෝ අවස්ථාවල ඒ ප්‍රකාශ ඉදිරියේ ඔබ පීඩනයට හා අසහනයකට පත් වෙනවා. මා සිතුවොත් සිතුවාමයි. දෙයක් කරනවා කිව්වොත් කරනවාමයි. මඩකළපුව දිස්ත්‍රික්කයේ පොදු ජනතාවගේ නිවාස ගැටලුව අංග සම්පූර්ණව විසඳීමට සජිත් ප්‍රේමදාස අනිවාර්යයෙන්ම කටයුතු කරන බව මා අද ඔබට වගකීමෙන් ප්‍රකාශ කරනවා.”

“මේ දිනවල දේශපාලන ක්‍ෂේත්‍රය තුළ අරුම පුදුම කතා අසන්නට ලැබෙනවා. මා එය හඳුන්වන්නේ දිව දෙකේ දේශපාලනය නොව දිව හතේ දේශපාලනය ලෙසටයි. කටුස්සා කියන සත්ත්වයා ඔබ හොඳින් දන්නවා. කටුස්සා පාට මාරු කරමින් හැසිරීම් රටාව වෙනස් කරනවා. දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිව හතේ කටුස්සෝ ටිකක් නිර්මාණ වී විවිධ ප්‍රකාශ සිදු කරමින් විවිධ ක්‍රම උපායන් අනුගමනය කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ කණ්ඩායම අද දිව හතේ කටුස්සන් බවට පත්වෙලා.”

“එදා බලයේ සිටින විට බේරුවලට ගොස් පිදුරු දමා ගිනිකූර ගැහුවා. මෑත කාලයේදී ඔවුන් නුවරට ගොස් වැඩිපුර පිදුරු දමා ගිනිකූර ගැහුවා. එසේ සිදු කළ ඔවුන්ට නැවත වරක් ජනාධිපති මන්දිරයට, අරලියගහ මන්දිරයට යන්නට ඔවුන්ට ආශාවක් ඇති වෙලා. ඒ ආශාව තුළ ඔවුන් බලහත්කාරයෙන් ඉස්තාර් උත්සවවලට යනවා. ඔවුන් බලහත්කාරයෙන් ඉෆ්ලාමීය ජනතාව අතරට ගොස් ‘මගේ පෙර වැරැදිවලට සමාවෙන්න’, ‘මා ඔබගේ දේවස්ථාන පුච්චා නැහැ’, ‘මගේ අතින් සිදු වූයේ අත්වැරැදීමක්’, ‘ජාති, ආගම්, වර්ග භේදය නිර්මාණය කළේ මගේ පැවැත්ම නිසා මට සමාවෙන්න’ යනුවෙන් පවසනවා. එසේ ප්‍රකාශ කරමින් විවිධ ස්ථානවලට යන දිව හතේ කටුස්සන් අද දේශපාලන ක්‍ෂේත්‍රය තුළ බිහිවෙලා.”

“බේරුවල හා දිගන ගිනි තැබූ පිරිසම රට සශ්‍රීක කරන්නට, සෞභග්‍ය කරා ගෙන යන්නට, ජාති, ආගම් භේදය ඉවර කරන්නට ඔවුන්ට පුළුවන් කියා ඉදිරිපත් වෙනවා. ඒ අයගේ පැටිකිරිය, මේ රටේ ජනතාව දන්නවා. අපේ රටට අවශ්‍ය වන්නේ ගිනි තබන, මිනී මරණ යුගයක් නොවේ පොදු ජනතාව ජීවත් කරවන යුගයක්.”

Sajith Premadasa