රට විනාශ කරපු හැමදාම රජ කරන දේශපාලන රොත්ත එළවන්න ඕනෑ…..

0

පසුගිය වසර තුන තුළ රටේ ඇති වූ විශාල කඩා වැටීමට ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද එක හා සමානව වගකිව යුතු බව විදුර වික්‍රමනායක මන්ත්‍රිවරයා පවසනවා.

හොරණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමෛන් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“රටේ ආර්ථිකයට මොනවා වෙලාද? සමාජයේ මතුව තිබෙන ප්‍රශ්න මොනවාද? මිනිස්සු ජීවත් වෙන්න මොනතරම් උත්සාහ කරනවාද? සති දෙක තුනකට කලින් සිංහරාජයේ අලි පැන්නීම ගැන මහා විශාල කතාවක් ඇති වුණා. ඊළඟට හාමුදුරුවන්ට ජම්පර් ඇන්දවීම ගැන කතා කළා. හිට්ලර් ගැන කතා වුණා. ඊළඟට පාතාලේ ගැන. ඊට පස්සේ නිව්යෝර්ක් ටයිම්ස් ගැන කතා වුණා. මේවා නිර්මාණය කරන්නෙත් දේශපාලනඥයෝමයි. අපේ රටේ දේශපාලනඥයන් නිර්මාණය කරන මේ වැඩපිළිවෙළට ඇතැම් මාධ්‍යන් උදවු කරනවාද කියලා මට හිතෙනවා. ඒ පිළිබඳ තියෙන්නේ කනගාටුවක්.”

“මේ රටේ මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්න කතා කළ යුතු වේදිකාවක් ගොඩනැඟිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. එවැනි තැනක් නිර්මාණය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ පිස්සන් කොටුවෙන් එහාට රට ගෙන යන්න ජනතාවට සතුට ගෙනෙන විකල්ප වැඩපිළිවෙළකට අපි සියලු දෙනාම ඒකරාශී විය යුතුයි. ඒ සඳහා පාට පක්‍ෂ භේදවලින් තොරව අපි එකතු විය යුතුයි. එසේ නොවුණහොත් මේ රටට වින කරපු රට විනාශ කරන දේශපාලන රොත්ත රජ කරනවා. ඒ නිසා විකල්ප අවශ්‍යයි.”

“රටේ අද තියෙන්නේ බරපතළ කඩා වැටීමක්. පසුගිය වසර තුන ඇතුළත මේ රට ඉතාම කනගාටුදායක තත්ත්වයකට පත්වුණා. මේ සඳහා ආණ්ඩුව පමණක් නොව විරුද්ධ පක්‍ෂයත් වගකිව යුතුයි. ඒ වගේම රටේ මහජනතාවත් මීට වඩා පාලකයන්ව මෙහෙයවීම පිළිබඳ කටයුතු කළ යුතුයි. අයාලේ යන පාලකයන් නිසා අද මේ රට ඉතාම කනගාටුදායක තත්ත්වයකට වැටිලා තියෙනවා.”

“ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් ඇමැතිවරු මේ ප්‍රකාශය හෙළා දැකලා ප්‍රකාශ කරලා තිබුණා. නමුත් ආණ්ඩුව මේ ගැන ගත්ත නිල පියවර මොකක්ද? නිල ප්‍රකාශයක් තවම නැහැ. රටේ ජනතාවට ඒක වැදගත් වෙනවා. ඕනම කෙනකුට ඕනම දෙයක් කියන්න, ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා කියලා මේ ආකාරයට ඇමැතිලා හැසිරෙනවා නම් මේක පිස්සන් කොටුවක් හැර වෙන මොකක්ද? 2015 ජනවාරි 08 වැනිදාට පෙර මෙවැනි තත්ත්වයක් රටේ තිබුණේ නැහැ.”