විපක්ෂයේ සියළු වරප්‍රසාද ආණ්ඩුව පැහැරගෙන……ආණ්ඩුව ගෙදර යවන සටනේ නව ආරම්භයක්!

0

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළුම පක්ෂ නියෝජනය වන පරිදි පෙරමුණක් ගොඩ නැගීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඊයේ (11) පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීම මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවෙසේදී පැවැත්වූවා. එහිදී ගනු ලැබූ තීරණ අතර ප්‍රධාන වශයෙන්ම දැනුම් දිය යුතු තීරණ කිහිපයක් තිබුණා. ඉන් එකක් තමයි ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතුයි කියන යෝජනාව. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ නිල විපක්‍ෂයේ අයිතිය හා වරප්‍රසාද කිසිවක් ලබා දෙන්නේ නැහැ. වරප්‍රසාද ලෙස අපි සඳහන් කරන්නේ භෞතික වරප්‍රසාද නෙවෙයි. කමිටුවලට සහභාගි වීම, කථික කාලය ආදී අපට බලපාන ප්‍රධාන කාරණා පැහැරගෙන තිබෙන්නේ. එම නිසා අපි කථානායකවරයාට අවස්ථා කිහිපයකදීම දැන්වූවා. නමුත් මේ මොහොත දක්වාම ඒ කියන්නේ වසර තුනක්ම සැබෑ විපක්‍ෂයේ හඬ යටපත් කිරීමට ආණ්ඩුව හා නිල විපක්‍ෂය කටයුතු කරනවා.”

“ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ ඒකමතිකව තීරණය කළා නව සන්ධානයක් ලෙස දේශපාලන වශයෙන් ගොනු විය යුතුයි කියලා. ඒ සඳහා නමකුත් යෝජනා වෙලා තිබුණා ඒකාබද්ධ පොදුජන පෙරමුණ නමින්.”

“මේ අතරේ අපේ තරුණ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම දැවැන්ත සත්‍යග්‍රහයක් කොළඹදී අගෝස්තු 17 පැවැත්වීමට සූදානම් වෙනවා. හරියටම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වලා වසර තුනක් ගත වන මොහොතේ තමයි මේ උද්ඝෝෂණය පවත්වන්නේ. එම උද්ඝෝෂණය ආණ්ඩුව ගෙදර යැවීමේ ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.