රනිල්ට බෑ කියලා මෛත්‍රි දන්නවා……., එජාප ආර්ථික ප්‍රතිපත්ති රට විනාශ කළා……

0

ජනාධිපතිවරයාට නොකිව් නිසා අඩු කළ තෙල් මිල පසුව ජනාධිපතිම සිටින කැබිනට් මණ්ඩලයේදි අනුමත වීම විහිළු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්, බී දිසානායක පවසනවා.

ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“ආණ්ඩුව අන්ධානුකරණයෙන් බටහිර රටවලට ගැතිවෙලා වන්දනා කරනවා. පසුගිය දවසක තෙල් මිල වැඩි කළා. ජනාධිපතිවරයාට කිව්වෙ නෑ. එතුමා පහුවදාම ඒක අවලංගු කළා. පසුව කැබිනට් එකේදී සතුටින් ඒකට එකඟ වෙලා යළි වැඩි කළා.”

“කැබිනට් පත්‍රිකාවක් ආවා. කෙරවළපිටිය දෙවැනි විදුලි බලාගරය හැදීම සඳහා. මේ සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් එකක් දැම්මා. මේ සඳහා. ‘ලක්දනවි’ කියලා දේශීය කර්මාන්තකරුවෙක් ඉල්ලුවා. යුනිට් එකක් හදන්න යන අඩුම වියදම දාලා තිබුණේ ‘ලක්දනවි’ සමාගම. පසුව මේක මේ අයට දෙන්න වුණා. චීන සමාගමට මේ සඳහා අභියාචනා කරන්න ඉඩ දුන්නා. චීන සමාගම දාලා තියෙන කරුණු 10 හරි කියල අමාත්‍යාංශ ලේකම් සඳහන් කරල තියෙනවා. මේ සඳහා චීන සමාගමෙන් අල්ලස් අරන් තියෙනවා. මේක පිටුපස්සෙ ඉන්න ඇමැතිවරු අපි දන්නවා. ඒක චීන සමාගමට දැන් දෙන්න ඒ ඇමැතිවරු දඟලනවා. ඒ සඳහා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙනවා. නඩුව අවසන් වනතුරු කැබිනට් පත්‍රිකාව අනුමත කරන්න කල් දාලා තියෙනවා. ජනාධිපතිවරයාත් නොදැනුවත්ම තමයි. ඒ ටෙන්ඩරය චීන සමාගමට දෙන්න යන්නෙ.”

“එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති පසුගිය අවුරුදු 3 තුළ ක්‍රියාත්මක කරපු නිසා රටේ ආර්ථිකය විනාශ කළා. ඒ නිසා ජාතික ආර්ථික සභාව කියලා ජනාධිපතිවරයා නව කමිටුවක් දැම්මා. මාස දෙකක් විතර මහන්සි වෙලා එහි ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවා. අගමැතිවරයා සහ මුදල් ඇමැතිවරයා ඒක ඉදිරිපත් කරන්න දුන්නෙම නෑ. ඒ සාකච්ඡාව අගමැති, මුදල් ඇමැති කඩාකප්පල් කළා.”

“දැන් අපි ඒකාබද්ධ පෙරමුණෙන් විපක්ෂයේ කණ්ඩායම එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් අපි විපක්ෂයේ කාර්යභාරය කරනවා. ජනාධිපතිවරයා දැන් තේරුම් අරන් තියෙන්නෙ රනිල් එක්ක මේ ගමන යන්න බෑ කියලා. අපි පුළුවන් තරම් ඉක්මනට එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් එළියට ගන්නවා. එහෙම අරගෙන හැකි ඉක්මනට අපි ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදනවා. මෛත්‍රි – මහින්ද එකතු වුණෙත් අපිට ඒක කරන්න පුළුවන්.”