ඇඟිලි ගැසීමක් නෑ….. සියලු කොමිසන් සභා ස්වාධීනයි…

0

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඇතුළු සියලු කොමිසන් සභා අද ශක්තිමත් වී තිබෙන අතර, කිසිවෙකුගේ ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීන සහ අපක්ෂපාති ආයතන ලෙස ඒවා ක්‍රියාත්මක වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද(18) පෙරවරුවේ ජෝර්ජියාවේ ටිබිලිසි සම්මන්ත‍්‍රණ සහ සමුළු ශාලාවේදී ආරම්භ කෙරුණු විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට එක්වෙමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ අසීමිත බලය, දූෂණය නිර්මාණය කරන අතර, බලය සහ දූෂණය අතර සබැඳියාව බිඳ හෙළීමට ඉකුත් වසර 03 තුළ ශ‍්‍රී ලංකාව වැදගත් පියවර රැසක් තැබූ බවයි.

එදා අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, පොලිස්පති, නීතිපති, සහ කොමිෂන් සභා නිලධාරින් ද පත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි වන අතර අද එම සියලු කටයුතු සිදුවන්නේ පාර්ලිමේන්තුවෙන් පත් කරන ලද ව්‍යවස්ථාපිත සභාවක් මගින් බව ද පෙන්වා දුන් ජනාධිපතිවරයා තමන් රට භාර ගන්නා විට දේශපාලන බලය හේතුවෙන් අධිකරණය ද දැඩි දූෂණයට ලක්ව තිබූ බවද පෙන්වා දුන්නා.

දේශපාලනඥයා වේවා රාජ්‍ය නිලධාරියා වේවා තමා සතු පෞද්ගලික බලය හැකි තරම් අවම කරමින් බලය ව්‍යවස්ථාපිත ලෙස සාමුහිකත්වයට භාරකළයුතු අතර, වැඩමුළු හා සම්මන්ත‍්‍රණ හරහා ඒ පිළිබඳ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමට මෙන්ම, දූෂණය හා වංචාව පිටුදැකීම පිළිබඳ සිවිල් සමාජය සතු බලතල භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ද රජය කටයුතු කරමින් සිටින බවයි ජනාධිපතිවරයා එහිදි පෙන්වා දුන්නේ.