පුත්තලමෙ තවත් වන සංහාරයක් රාජ්‍ය නිලධාරින් මුණිවත රකී

0

 ‘‘මේ කරලා තියෙන හානිය සුළු පටු නැහැ සහගහන අපරාධයක් කරලා තියෙන්නෙ.’’

‘‘ගස් කොළන් විතරක් නෙමෙයි මාළු ටිකත් ඉවරෙටම ඉවරයි’’ මෙසේ අදෝනා කරන්නේ කව්රුන්ද? කුමකටද? යන්න කීමට මත්තෙන් සිදුව ඇති කතාවේ ඇතුළාන්තයට එබිකම් කිරීමට දිණමින අපි ගමන් ආරම්භ කළෙමු.

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් 606 මනල්තිව් ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇති  සුන්දර වූ මී ඔය අතු ගංඟාවට යාබදව පිහිටි රජය සතු ඉඩමක් පුද්ගලික ව්‍යාපාරිකයෙකු විසින් පොල් වගා කීරීමට මුවාවෙමින් සංවිධානාත්මකව සිදුකර ඇති දැවැන්ත වන සංහාරයක් පිළිබදව එහි ගිය අප කැමරා කාචයේ සටහන් විය.

පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ 5 කණුව නැමති ප්‍රදේශයේ පිහිටි අක්කර 4ට ආසන්න මෙම රජය සතු ඉඩම අදාළ ව්‍යාපාරිකයා අත්පත් කර ගැනීමෙන් පසු බල පත්‍ර සෑදීමටත් මත්තෙන් බල පත්‍රයට අයඳුම් කල බවට ලබා දෙනු ලබන ලිඛිත අවසර පත්‍රය සන්ථකයේ තබා ගනිමින් අදාල පුද්ගලයා කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් එහි සංවර්ධන කටයුතු සිදු කිරීම ආරම්භ කරන්නේ ඔය අතරතුරය.

එහිදි අදාළ ව්‍යාපාරිකයා තම ධන බලය අයුතු ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ වදවී යාමේ තර්ජනයට මුහුණපා අති දැවැන්ත බක් මී නැමති දේශිය ඖෂධිය ශාක ඇතුළු තවත් කඩොලාන ගණයට අයත් යැයි පැවසෙන තිල්ල හෙවත් තෙල ශාක ඇතුළු තවත් වටිනා ශාක රැසක් මෙන්ම පරිසරයේ සුන්දරත්වය විදහාපාන මී ඔය අතු ගංඟාව යාබදව පිහිටා තිබූ ජලජ ශාක රැසක් ඉවක් බවක් නොතකා ඩෝසර් යන්ත්‍රය ආධාරයෙන් තල්ලු කර මී ඔය ජල පෝෂක අතු ගංඟාවක් සම්පූර්ණයෙන්ම අවහිර වන පරිදි  වසා දැමීමට ක්‍රියා කර ඇති බවට අදාළ වසම භාර  පුත්තලම ප්‍රාදේශිය සභා මන්ත්‍රී රාමනාදන් මහතා සහ වෙප්පමඩුව කොට්ඨාශය භාර ප්‍රාදේශිය සභා මන්ත්‍රී රවී කුමාර් මහතා අදාළ ව්‍යාපාරිකයාට සහ රජයේ වග කිව යුතු බලධාරින්ට තරයේ චෝදනා කරති.

අදාළ ව්‍යාපාරිකයා 606 මනල්තිව් ග්‍රාම නිළධාරි වසම භාර ග්‍රාම නිලධාරි වරයාගේ අනුදැණුම මත මෙම අනෝමතික වන සංහාරය සිදුකල බවයි අදාළ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුව නිසාවෙන් මේ වන විටත් මී ඔයේ ජල පෝෂක ප්‍රදේශයක් වන මී ඔය අතු ගංඟාවේ ගලා බසින ජල පහර සම්පූර්ණයෙන් අවහිර වන පරිදි කාර්යක්ෂම ඩෝසර් යන්ත්‍රය යොදා තල්ලු කරන ලද දැවැන්ත වනස්පතීන් දමා වැසීම හේතුවෙන් අදාළ අතු ගංඟාවේ ජෛව විවිධත්වය පමණක් නොව එහි වාස භූමියක් බවට පත්කර ගෙන සිටි විශාල මත්ස්‍ය සම්පත මේ වන විට ශීඝ්‍රයෙන් මිය යාමට පටන් ගෙන ඇති බව මනාව හෙළිදරව් විය එයට හේතුව අදාළ මීය ආශ්‍රිතව දෛනිකව බිලි බාමින් මසුන් අල්ලන්නන් කියා සිටින්නේ නිදහසේ ගලන ජල පහර මෙලෙස සම්පූර්ණයෙන් අවහිර වන පරිදි ඇළ මාර්ගය අවහිර කිරීම නිසාවෙන් මත්ස්‍යයින්ට නිදහසේ ගමන් කිරීමට  ඇති ඉඩ ප්‍රමාණය අවහිර වීමත්,  තැනින් තැන රැදී ඇති ජලය තුළ  ඔවුන්ට රැදී සිටීමට ඉඩ ප්‍රස්ථාව ප්‍රමාණවත් නොවන බවත්, පවතින අධික අව් රශ්මිය නිසාවෙන් ජලය සීඝ්‍ර ලෙස රත්වීම වැනි කරුණු හේතු කොට ගෙන මත්ස්‍යයින් මෙලෙස මිය යාමට ලක්වන බවයි.

එපමණක් නොව අදාළ ව්‍යාපාරිකයා තමන්ට රිසිසේ මෙවන් වන සංහාරයක් සිදුකරන තුරු වසම භාර ග්‍රාම නිළධාරි වරයා මුණිවත රැක්කේ කුමණ අරමුණක් පදනම් කර ගෙන දැයි විමතියට මෙන්ම පුදුමය දනවන කරුණක්ව ඇති බවයි අදාළ මන්ත්‍රීවරු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

මෙහිදී ඔබට මෙසේ තීරණය කිරීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව තිබේ ඒ වෙනයම් කව්රුවත් නොව වන සංරක්ෂණ නිළධාරන් මේ බව සොයා බැලීමෙන් බැහැරව සිටිනවාද යන්නය.  එය අප හට සෘජුව ඔවුන්ට කිසිසේත් චෝදනා කල නොහැකිය තරම්ය. මන්ද අදාළ නිලධාරින් සුළු පිරිසකට විශාල වපසරියක් භාරව තිබීම ප්‍රධාන කරුණක්ව තිබේ. රාජකාරි ආවරණය කිරීමට තරම් ප්‍රමාණවත් නිළධාරින් නොසිටීම නිසාවෙන් මුහුණු සහයක් අත් දොළසක් ඇති කතරගම දෙවිදු වෙස් ගැනීමට ඔවුන්ට සිදුවන අවස්ථා අනන්ත අප්‍රමාණය. මන්ද ඔවුන්ට රාජකාරි එමටය එක් පසෙකින් කඩොලාන සම්පත නිරන්තරයෙන් නා රජෙකු මැණිකක් රකින්නා සේ ඔවුන්ට රැකීමට සිදුව තිබෙන්නේද සංවිධානාත්මක සොර කල්ලි විසින් නිරන්තරයෙන් කඩොලාන පරිසරයට වින කැටීමේ ක්‍රියාන්විතය සූක්ෂමව ආරම්භ කර තිබීම නිසාවෙනි එවැනි හේතු නිසාවෙන් ඔවුන්ට ඉස්පාසුවක් නැති තරමට රාකාරි බහුලය.

එපමණක් නොව මෙවන් රජය සතු ඉඩම් යම් කිසි සංවර්ධන කටයුත්තක් සදහා ලබා දෙන්නේ නම් අදාළ විෂය පතය භාර වසමේ ග්‍රාම නිළධාරි වරයා එය විධිමත් ලෙස මනා අවබෝධයකින් පරික්ෂණයක් සිදු කර එම ස්ථානය ලබා දීමට සුදුසුදුද නුසුදුසුද යන වග ප්‍රාදේශිය ලේකම් වරයාට දැණුවත් කල යුතුය එම නිසවෙන් කැකිල්ලේ නඩු තීන්දුවට සමාන තීන්දු තීරණ ගෙන අවලාද අපහාස ප්‍රාදේශිය ලේකම්ට කිවීම කිසිසේත් සිදු නොකල යුතුයැයි මෙහිදී අපට වැටහින.

මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදී පුත්තලම ප්‍රාදේශිය සභා මන්ත්‍රී එස්.රවී කුමාර් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

සෑම වසරකම පුත්තලම මනල්තිව් වසමේ සේවන්තිව් කියන ගම්මානය සම්පූර්ණයෙන්ම ගං වතුරට යට වෙනවා ඒකට හේතුව තමා මේ මී ඔය ඉස්සන් ගොවිපල් හිමියන් පුද්ගලික ඉඩම් හිමියන්   ස්ථාන කිහිපයකින්ම අවහිර කරලා තියෙනවා. ඉතිං මේ සැරේ මේ විදයට මී ඔය ඩෝසර් වලින් ගස් තල්ලු කරලා අවහිර කරලා දැම්මා කියන්නෙ.  වැසි කාල වලදී පස් හේදිලා ඇවිල්ලා කපලා දාලා තියෙන ගස් වල රැදුනාම සම්පූර්ණයෙන්ම ජලය ගමන් නොකර හරස් වෙනවා. එතකොට වෙන්නෙ අසරණ ජනතාව ගංවතුරට යටවෙන එක නෙමෙයිද? ඒ විතරක් නෙමෙයි මම දැන් මෙහෙ මන්ත්‍රී වෙලා මාස තුනක් විතර වෙනවා මම අන්ත අසරණ ඉන්න හිටින්න බිම් අඟලක්වත් නැති පවුල් 80ක් විතර පර්චස් 10ක පොඩි ඉඩම් කෑල්ලක් ඉල්ලලා ඔවුන්ට ඉල්ලීම් ලිපි දෙන්න කිව්වා ග්‍රාම සේවකට එයා කියනවා කොහෙ තියෙන ඉඩම්ද කියලා අහනවා. එතකොට මේ වගේ පුද්ගලික ව්‍යාපාරිකයෙකුට පොල් හිටවන්න අක්කර ගණන් දුන්නෙ ග්‍රාම සේවක ගෙදරින් ගෙනාපු දේපල වලින්ද කියලා අහන්න හිතෙනවා. අද මිනිසුන්ට ඉන්න තැනැක් නැතුව මිනිස්සු කුලී ගෙවල් වල කොච්චර ඉන්නවද ඒ මිනිස්සුන්ට දෙන්න බිම් අඟලක් නැහැ කියද්දි මෙව්වා දීලා තියෙන්නෙ කොහොමද?

නැගෙන චෝදනාව සම්බන්ධයෙන් අදාළ ඉඩම් හිමි පුද්ගලික ව්‍යාපාරිකයාගෙන අප සිදුකල විමසුමකදී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

අප ලබා දුන් සෘජු ප්‍රශ්ණය ඔබ තුමාට ඔප්පුවක්   තිබෙනවාද?   නැහැ මම පෝමිට් එකට ලියලා දැන් මාස දෙකක් තුනක් ඇති මට තාම පෝමිට් එක හම්බුනෙ නැහැ. ඒක කුරුණෑගලට යවලා තියෙන්නෙ. ඒ.ජී. ඔෆ්ෆිස් එකෙන් පෝමිට් එකට ලියලා දාද්දි දුන්න තුන්ඩු කෑල්ලක් මම ලඟ තියෙනවා. ජී.එස්. මහත්තයා කිව්වා මේක සුද්ධ කරලා පොල් දාන්න කියලා.

ඩෝසර් කරද්දි වසමේ ග්‍රාම නිළධාරි වරයා බලන්න පැමිණියද? ඒ වෙද්දි අදාළ ඇළ වහලා තිබ්බා නේද? ඒක වහලා  තියෙන්නෙ ඇයි කියලා ඔයාගෙන් ග්‍රාම නිළධාරි වරයා ප්‍රශ්ණ කලේ නැද්ද?

ඔව් ජී.එස්. මහත්තයා අවා ඇවිල්ලා බැලුවා ඇළ වහලා තියෙන එක ගැන කමක් නැහැ කිව්වා මට මුකුත් කිව්වෙ නැහැ ඉක්මණට සුද්ධ කෙරුවෙ නැත්නම් ඉඩම දෙන්නෙ නැහැ කියලා කිව්වා. සුද්ධ කරලා මට පොල් දාන්න කිව්වා. යනුවෙනි.

මේ සම්බන්ධයෙන් 606 මනල්තිව් වසම භාර  ග්‍රාම නිළධාරි වරයාගෙන් දුරකථනය ඔස්සේ කල විමසුමකදී ඔහු පවසා සිටියේ මෙවැන්නකි.

ග්‍රාම නිළධාරි තුමා අර 5 කණුවෙන් පුද්ගලයෙකුට ඉඩමක් දීලා තියෙනවා නේද? ඔව්…ඔව්…

ඒකෙ ග්‍රාම නිළධාරි තුමා එයා මී ඔය අතු ගංඟාවක් වහලා තියෙනවා සම්පූර්ණවම එතකොට ඒ සම්බන්ධයෙන් ඔබ තුමා බැලුවද? මී ඔය වහලා කියලා….බැලුවා….බලන්න ඕනෙ අද ජංගම සේවෙ තියෙනවා හවස බලන්න ඕනෙ.

ඒකට තාම බල පත්‍ර දීලා නැහැල්ලු ඒ ඉඩම් හිමියා කියනවා බල පත්‍රයට අයඳුම් කරද්දි ලබා දෙන රිසිට්පතක් විතරයි දීලා තියෙන්නෙ කියලා. ඒ රිසිට් එක දීලා තියෙද්දි ඔබ තුමා ඇවිල්ලා බැලුවාලු සුද්ධ කරද්දි. එහෙම රිසිට්පතක් දීලා සුද්ධ කරන්න බැහැ නේද?

මට බලන්නෙ නැතුව මුකුත් කියන්න බැහැ. ඒ ඉඩමට බලපත්‍ර තියෙනවද නැද්ද කියලා මිනිහගෙන් අහන්න ඕනෙ.

නැහැ ඒ පුද්ලයා කියන්නෙ ඔබ තුමා දීලා තියෙන්නෙ ඔබ තුමාගෙ සේවා කාලයෙ කියලා එහෙනම් ඔබ තුමා දැනුවත්වනෙ දීලා තියෙන් ඕනෙ නේද? බලමුකො මම අහලා කියන්නම්. (දුරකථනය අදාල ග්‍රාම නිළධාරි වරයා විසන්ධි කරන ලදි)

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී අදාළ වසම භාර ප්‍රාදේශිය සභා මන්ත්‍රී රාමනාදන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.

මම ග්‍රාම නිළධාරි වරයාගෙන් මේ සම්බන්ධව විමසීමක් කලා මොකද මේ සිද්ධිය මගෙ කොට්ඨාශයෙ වෙලා තියෙන නිසා මම ඇහැව්වා ඇළ මාර්ගය වහලා තියෙනවා ඔබ තුමා බැලුවද කියලා එයා කිව්වෙ මට අදාළ පුද්ගලයට බල පත්‍ර තියෙනවා කියලා. එයා කියනවා අපි නිරික්ෂණය කරලා බැලුවා එහෙම ඇළ වහළා නැහැ කියලා. මම ඇහැව්වා බල පත්‍රය අදාල ඉඩම හිමියා ලග තියෙනවද කියලා ග්‍රාම නිළධාරිවරයා පවසා සිටියේ ඉඩම් හිමියා ළඟ ඉඩමට අදාල පැරණි බල පත්‍රයක් ඇති බවයි.

මේ පිළිබදව සොයා බැලීමේදී මනාව හෙලිදරව් වන්නේ අදාළ ග්‍රාම නිළධාරි වරයා දෙබෙඩි පිළිවෙතක් අනුගමනය කරනව නොවේද? රාජ්‍ය පරිපාලනයේ වගකිව යුතු තනතුරක් හොභවන්නෙකු ලෙස මෙලෙස වැනෙන සුළු වචන භාවිතා කිරීම තනතුරටවත් ගැලපෙන්නේදැයි ඔබට තීරණය කිරීමට පහසුවෙන් පුළුවන. මන්ද දේශපාලන අධිකාරිය කල විමසුකදී පවසන්නේ එකකි මාධ්‍ය කල විමසුකදී පවසන්නේ තවත් එකකි. බලන කල අදාළ ග්‍රාම නිළධාරි වරයා හතර බිහිරි කතා ගොතන්නට උපන් හපන් යැයි කිවහොත් එය නිවැරදි නොවේද?

සටහන සේයා රූ

පුත්තලම ප්‍රියංකර කළුපහන