යන්න ලංවෙලා සිරිසේන ජනාධිපතිතුමා සිංහයෙක් වෙලා!

0

ධූරකාලයෙන් වැඩි කොටසක් ගත වී ඇති මොහොතක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එල්ලුම් ගස ගැන ප්‍රකාශ සිදු කරන්නේ නැති වී තිබෙන ජනතා අප්‍රසාදය ලබා ගැනීමේ අවසන් තුරුම්පුව ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග පවසනවා.

උඩුගම්පොළ පැවති රැස්වීමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

“තමන්ගේ ජනාධිපති ධුර කාලසීමාවේ අන්තිම හරියට ළංවීගෙන එනකොට දැන් ජනාධිපති සිරිසේන මැතිතුමා සිංහයෙක් වෙලා. අවුරුදු තුනකට පස්සේ තමයි එතුමාට මතක් වෙලා තියෙන්නේ මේ රටේ විධායක ජනාධිපති තමන් කියලා. හිටිහැටියේ ඒක මතක් වෙච්ච ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලලා මරන්න ඕනේ කියලා බෙරිහන් දෙනවා.”

“හරියට හොයලා බැලුවොත් එතුමට පෙනෙයි පසුගිය අවුරුදු තුනේ තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම වැඩි වුණේ කියලා. මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ මරණ බියෙන් රට පැනලා හිටපු පාතාලයෝ ටික ආපහු ලංකාවට ආවේ සිරිසේන මහත්තයා බලයට පත් වුණාට පස්සෙයි.”

“මේ රට අරාජික, පාතාල රාජ්‍යයක් බවට පත්වීමේ ප්‍රධාන වග උත්තරකරුවා සිරිසේන මහත්තයා තමයි. කුඩු ජාවාරමට කියලා ඔය මරන්න යන එක හිරකාරයෙක්වත් කුඩු ජාවාරමේ ලොකු ලොකු මොළකාරයෝ නෙවෙයි. ඒ මොළකාරයෝ ඉන්නේ කැබිනට්ටුව තුළයි.” මන්ත්‍රිවරයා පවසා සිටියා.

Prasanna Ranatunga