වහල් යුගයෙන් ‘සර්’ යුගයට……සර්ට පිස්සු වුනාට අපිට පිස්සු නෑ…..!

0

පළාත් පාලන මැතිවරණය දි පොහොට්ටුවට බහුතර පළාත් පාලන ආයතන වල බලය හිමි කර දුන්නද කාගේත් අවධානය යොමු වූයේ මහරගම නගර සභාවටය. ඒ බයිසිකලය ලකුණෙන් තරග කළ පිරිස ජයග්‍රහණය කර ඇද්ද යන්න දැන ගැනීම  වෙනුවෙනි.

ඒ මැතිවරණය දි මුලින්ම ගෑණු පිරිමි භේදය හඳුනා ගැනීමට නොහැකි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා මණ්ඩලය මහරගම නාමයෝජනා පත්‍රය අනාගත් අතර පොහොට්ටුවට මහරගමට තම ලකුණෙන් ඡන්දය ඉල්ලා සිටිමේ අවස්ථාව ඒ අනුව අහිමි විය. නමුත් බලයට ඇති ආශාව ප්‍රබල කර ගනිමින් එම පොහොට්ටු අපේක්ෂක පිරිස බයිසිකලය ස්වාධින කණ්ඩායමට සහය පල කිරීමට එකඟ වූයේ ජයග්‍රහණයෙන් පසුව ඉල්ලා අස්වී තමන්ට නගර සභාවට පත් වීමට අවස්ථාව ලබා දෙන ලෙසට බයිසිකලේ අපේක්ෂකයන්ගේ වාචික පොරොන්දු ලබා ගනිමිනි.

පළාත් පාලන මැතිවරණයේදි මහරගම නගර සභාව බයිසිකලය ජයගත් අතර එම ජයග්‍රහණය ඒකාබද්ධ විපක්ෂයේම මන්ත්‍රිවරුන්ට අනුවම මහින්ද රාජපක්ෂ පොල් ලෙල්ලක් ඉදිරිපත් කොට ජයග්‍රහණය ලබා ගත්තකි.

ජයග්‍රහණයේ උණුසුම මැකි මාස කිහිපයකින් පොරොන්දුව පරිදි බයිසිකලයේ නාගරික මන්ත්‍රිවරුන් ඉල්ලා අස්වූ අතර සභාපති ටිරාජ් ලක්රුවන් පියරතන සහ උපසභාපතිවරයා පමණක් බයිසිකලයෙන් ඉතිරි විය.

එවන් තත්ත්වයක් තුළ මහරගම නගර සභාපතිවරයාගේ අලුත්ම අඳ බාල ක්‍රියාව ඔහුගේ නිල කාමරයේ දොරෙහි සටහන් වේ. “නගරයේ පළමු පුරවැසියා නිසාත්, මෙම ආයතනයේ ප්‍රධාන විධායක තතතුරු හොබවන නිසාත් සියළු නිලධාරි සේවක  මහත්ම මහත්මීන් සහ සියළු ජනතාව සර් යන නාමයෙන් ආමන්ත්‍රණය කළ යුතුය.” සභාපතිවරයාගෙ අත්සනින් යුතුව එම නිවේදනයේ සඳහන් වේ.

කුරහන් සාටකය බෙල්ලේ ඔතා ගෙන නායකයාගේම බල ලෝභිත්වයේ අඩි පාරේ ගමන් කරන මහරගම සභාපතිවරයාට ගෞරවය ඇත්තේ සර් යන වචනයේ නොව මිනිසුන්ගේ සිත් වලය යන්න අමතක වී ඇත. ගරු කරන්නාට ගරු කිරීමටත් ගරු කිරීමට සුදුසු නැති පුද්ගලයාට ගරු නොකිරීමටත් මිනිසුන් ඉගෙන ගෙන ඇති බව අමතක වී ඇත.  පොල් ලෙල්ලක් වුවත් ඡන්දය ලබා දුන් මහරගම ජනතාවට කෘතවේදය පල කිරිමට මහජන සේවය සිදු කිරීමට සිතා වත් නොමැති අවස්ථාව මෙලෙස තමාට ගරු කළ යුතුය යන්න තමාම දොරේ ගසා ගැනීමෙන් සභාපතිවරයා ඔප්පු කර ඇත්තේ කිසිවිටක කිසිවෙකුගේ ගෞරවය ලබා ගැනීමට තමා නොසුදුසු බව නොවේද?

මෙවන් දේශපාලනය උන්මත්තකයන්ට බලය ලබා දුන්නාට මහරගම ජනතාවට දොස් පවරා පලක් නැත්තේ නුවණ ඇතුන් ලවා හෝ ඇදීමට නොහැකි බැවිනි. නමුත් එම මැතිවරණය රටේ හෝ මහරගම හෝ පවත්වන අවසන් මැතිවරණ නොවේ තවත් බොහෝ මැතිවරණ ඉදිරියේදි ඒමට නියමිතය. එහිදි තම වගකීම හරියට ඉටු කිරීම ජනතාවගේ යුතුකමයි. පොල් ලෙල්ලක් දැම්මත් දිනනවා යනුවෙන් පැවසීමට තරම් අපගේ ඡන්දයෙන් තේරි පත්වූවන්ට පැවසීමට ආත්ම විශ්වාසය ලබා දෙන්නේ ජනතාවගේ ඇති දේශපාලන වහල්බව නොවේද?

ජනතාව දේශපාලුවන් ඉද්‍රියේ නැවෙන්න නැවෙන්න ගෝනි නැතුව කරේ යාම ඔය කොයි පක්ෂයේත් දේශපාලයන්ගේ පුරුද්දය. එසේනම් අයින් කර ගත යුත්තේ ඒ වහල් බවය. කුරහන් සාටකයට, පක්ෂයේ ලාංජනයට, පවුලේ නාමයට රැවටුනු කාලය අවසන් කළ යුතුය. ජනතා ඡන්දෙන් තේරි පත් වී ජනතාවට ගෙම්බර් පාටි දාන දේශපාලකයන්ට අසූචි බාල්දියෙන් ගැසීමට නොහැකි වුවත් එයට වඩා රිදෙන ආයුධයක් ජනතාව සතුවන බව සිහි කරන්න. එය ඔබේ ඡන්දයයි. එයට නිසි වටිනාකම ලබා දෙන්න.