ආර්ථිකය අතට ගන්නවා කිව්ව ජනාධිපතිට ඒක මතක නැහැ…මෙතන එල්ලුම් ගහක් බදාගෙන ඉන්නවා

0

ප්‍රතිඅපනයනය නවත්වා රටේ ආර්ථිකයේ පාලනය අතට ගන්නාවා යැයි ප්‍රතිඥා දුන් ජනාධිපතිවරයාට එය අමතක වී ගොස් ඇති බවත් දැන් දැන් එල්ලුම් ගසක් පිළිබඳව පමණක් ජනාධිපතිගේ අවධානය යොමු වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් සඳහන් කරනවා.

කන්තලේ වෙලින්ටන් සිනමා ශාලාවේදී මේ රැස්වීම පැවැත්විණි. එහිදිඅදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේ පවසා සිටියා.

“මෛත්‍රිපාල ජනාධිපතිතුමා කිව්වට මම ගන්නවා ආර්ථිකය මගේ අතට කියලා. ප්‍රති අපනයන පෙබරවාරි දහ වැනිදායින් පස්සේ නවත්වනවා කිව්වට නැවැත්වුවේ නැහැ. එතුමටත් ඒක මතක නැහැ. දැන් එතුමා ගහක් බදාගෙන ඉන්නවා. එල්ලුම් ගහ ආපු ගමන් ගම්මිරිස් කතාව යට ගිහිල්ලා තියෙනවා.”

“මේකෙන් ගොඩඑන්න පුළුවන්ද මෛත්‍රි මහත්තයාට. ඒකෙන් ගොඩඑන්න රනිල් මහත්තයාට තියෙනවාද උත්තරයක්. උන්නැහේලා දැම්මා ආර්ථික ප්‍රතිපත්තියක්. දෙදහස් විසිපහේ ටුවෙන්ටි ටුවෙන්ටි ෆයිව් කියලා. මොකක්ද ඒ ආර්ථික ප්‍රතිපත්තිය. ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක අස්සන් කළා, ගිවිසුමක් රටේ තියෙන ජාතික සම්පත් ටික විකුණන්න. ඒකට සැලැස්ම හදන්න දෙනවා ආර්ථික සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුන්සීයක ණයක්. ඒකෙ ප්‍රතිඵලය තමයි මත්තල විකුණන්නේ. මත්තල හදපු හැටිය වැරැදියි. ඒක රාජපක්ෂගේ මේනියාවට හදපු ව්‍යාපෘතියක්. ඒක අසාර්ථකයි. ඒක සාර්ථක කරන්න පුළුවන්.”

“අපි රටේ මානව සම්පත, භෞතික සම්පත ප්‍රයෝජනයට ගන්නේ නැහැ. මේ ආර්ථික අර්බුදය නිසා තමයි සමාජ අර්බුදයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ගල්කිස්ස උසාවියට කුඩු පැකට් යට ඇඳුම් අස්සේ ගහගෙන යනවා. දරුවන්ට කන්න දෙන්න කුඩු විකුණන්න. කිරිවෙහෙර හාමුදුරුවන්ට වෙඩි තිබ්බේ අවුරුදු දහඅටේ කොල්ලෝ. පතුලේ තියෙන්නේ මොකක්ද? රස්සාව බඩ වියත. හැම සිද්ධියක් පිටි පස්සේම තියන්නේ සල්ලි. රටක ආර්ථිකය හැදුවේ නැත්නම් රට හදන්න බැහැ. ආර්ථිකය ගෙදර ෆවුන්ඩේෂන් එක වගේ.

“මේක වෙනස් කරන්න මැදමුලන ප්‍රජාතන්ත්‍රවාදයට පුළුවන්ද? නැවත අපිට ඒකට යන්න බැහැ. ඒක නිසා මේ රටට හිට්ලර්ලා ඕනෙත් නැහැ. ප්‍රභාකරන්ලා ඕනෙත් නැහැ. අද ඒ සඳහා සැබෑ දේශප්‍රේමීන් අවශ්‍ය වෙලා තියෙනවා. දේශප්‍රේමය කියන්නේ විජේකලාට විරුද්ධව මෙහේ උසි ගන්වන එකද. අද විග්නේශ්වරන්ට ඕනේ වෙලා තියෙන්නේ ඒක. ජාතිවාදය දේශපාලනයට සම්බන්ධ කරන එක නවත්වන්න ඕනේ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයන්. දෙමළාට දෙමළ වීමෙන් අධ්‍යාපනය අහිමි වෙන්න බැහැ. මුස්ලිම් වැසියාට ව්‍යාපාර කිරීමේ අයිතිය තියෙන්න ඕනේ. සිවු වැදෑරුම් ප්‍රතිපත්තියක් හරහා රට ගෙනියන්න ඕනේ. අපි ඔබෙන් ඉල්ලන්නේ රට වෙනස් කරමු. රට වෙනස් කරන්න නම් අපි වෙනස් වෙන්න ඕන. ඒක නිසා අපි අලුත් වෙන්න ඕනේ. ඒකට අපි ඉල්ලා සිටින්නේ භෞතික-මානව සම්පත් දෙක එකතු කරලා රට හදමු.”