හොරු අල්ලන විශේෂ අධිකරණ අගෝස්තු 24 දා වැඩ අරඹයි……!

0

බරපතළ දූෂණ වංචා සහ නොවිසඳුණු මිනීමැරුම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි නඩු විභාග කෙරෙන විශේෂ මහාධිකරණ පද්ධතියේ ප්‍රථම මහාධිකරණයේ මේ මස 24 වැනි දින නඩු විසඳීමේ කටයුතු අරඹනු ඇති බව අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (7දා) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“2015දී අපේ ආණ්ඩුව බලයට ඒමට පෙර දුන් පොරොන්දුවලින් ප්‍රමුඛ තැනක් ගත්තේ බරපතළ දූෂණ වංචා මෙන්ම නොවිසඳුණු මිනීමැරුම්වලට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙනැවිත් දඬුවම් පමුණුවන බවට දුන් පොරොන්දුවයි. 2015 ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී ජනතාව එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නේ එම පොරොන්දුව ඉටුකර දූෂණ වංචාවලට වැට බඳිනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්. ඒ අනුව මේ රටේ පළමුවැනි වතාවට දූෂණවලට සම්බන්ධ බලගතුම පුද්ගලයාට එරෙහිව නීත්‍යනුකූලව නිසි ලෙස නීතිය බලගැන්වීමට අපේ ආණ්ඩුවට හැකිවූවා. අක්‍රිය වී තිබුණු අල්ලස් හෝ දූෂණ කොමිසම පණගන්වා ශක්තිමත් කිරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එෆ්.සී. අයි.ඩී.ය විධිමත් ලෙස බලගන්වා අත තියන්න බැහැ කියපු දේශපාලනඥයන් හා ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අපේ ආණ්ඩුව පියවර ගනු ලැබුවා.”

“අධිකරණවල නඩු විභාග කිරීම ප්‍රමාද වීම කලක් තිස්සේ සිදුවූ නිසා ජනතාව මහත් පීඩාවකට ලක්ව සිටියේ. නඩු විභාග කිරීම ප්‍රමාද වීම නිසා චූදිතයන් ඇප මත මුදාහැරීම ඔවුන් නිදහස් කිරීමක් ලෙස ජනතාව කල්පනා කරනවා. ජනතාව ඒ ගැන ඉන්නේ දැඩි නොසතුටකින්. එසේ වුවත් අප ලැබූ ජයග්‍රහණය තමයි දූෂණ වංචා අපරාධ ලිපි ගොනු 120කට අධික ප්‍රමාණයක් විමර්ශන අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට භාරදීමට හැකිවීම. එයින් මේ වන විට නඩු ගොනු කිරීමට හැකි වී ඇත්තේ ලිපි ගොනු 19ක් සම්බන්ධයෙන් පමණයි. එයිනුත් දැනට නඩු අවසන් කර ඇත්තේ දෙකක් පමණයි. නීතිඥයන්ගේ පුරුද්ද තමයි නඩු කල් ගැනීම. මේ නිසා නඩු කල්යෑමට හේතු වූ අඩුපාඩු සොයා බලා ඒවා මඟහරවා කඩිනමින් නඩු විසඳීම සඳහා අවශ්‍ය සියලු පියවර ආණ්ඩුව ගෙන තිබෙනවා.”

“අපි ගතවූ කාලය තුළ බොහෝ වෙහෙස මහන්සි වී මේ අඩු පාඩු සපුරාලීමට කටයුතු කළේ. ඒ නිසා මේ නඩු අහන්න විශේෂ අපරාධ නඩු විමසන නීත්‍යනුකූලව දිනපතා නඩු විභාග කරන අධිකරණ පද්ධතිය ස්ථාපිත කළා. ඒ සඳහා අවශ්‍ය විනිසුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩල වගේම භෞතික සම්පත් ලබාදුන්නා. අපට තිබුණු ලොකුම චෝදනාව තමයි ඇයි මේ නඩු කඩිනමින් විභාගයට නොගන්නේ කියන එක. දැන් ඒ ප්‍රශ්නයට විසඳුම් ලැබෙනවා. විශේෂ අධිකරණයේ විභාග කෙරෙන නඩු පිළිබඳ නිර්ණායක වන්නේ එම සිද්ධීන් පිළිබඳ බරපතළකම හා රටේ පුරවැසියන්ට එය බලපාන ආකාරයයි. මහින්ද රාජපක්ෂ පාලන යුගයේ ලෝකයේ සෙසු රටවල ක්‍රියාත්මක වූ තොරතුරු දැනගැනීමේ පනත ගෙන ආවේ නැති නිසා කරු ජයසූරිය මැතිතුමා එය ගෙන ආ විට ඔවුන්ගේ තුනෙන් දෙකේ බලය යොදා එය පරාජය කළා. අප බලයට ඒමට පෙර දුන් පොරොන්දුව අනුව තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක කළා. ඒ නිසා රජයේ ආයතනවල වංචා, දූෂණ, අක්‍රමිකතා අවම වී තිබෙනවා.”