ජනපති එල්ලුම්ගහට තවත් ලං වෙයි…. අවසන් වාර්තා ලබන සතියේ

0

මත්කුඩු ජාවාරම් කරන පුද්ගලයන් වෙත අධිකරණයෙන් ලබා දී ඇති මරණීය දණ්ඩනය අනුමත කිරීම සඳහා නීතිපති, අධිකරණ ඇමැතිගේ සහ අදාළ නියෝගය නිකුත් කළ විනිශ්චයකාරවරයාගේ වාර්තාව අවශ්‍ය බවත් එය තවත් සතියක් ඇතුලත් ලැබෙනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැති ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පුනරුදය වැඩසටහන යටතේ ශ්‍රී ලංකා යුධ හමුදාව සමග ඖෂධ පැළ ලක්ෂයක් බෙදා දීමේ සහ සිටුවීමේ වැඩපිළිවෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සදහන් කළේ එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරිම දේශයේ “ජාතියේ පුනරුදය ඇති කිරීම” සඳහා “යුද්ධයක් මෙන්” කළ යුතු මෙහෙයුම් අතරින් එකක් බවයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත් කිරිමේ පියවර “නීත්‍යානුකූලව” ගැනීම සඳහා අවශ්‍ය කරන වාර්තා ලබන සතියේ ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පල කර සිටියා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සහ යුරෝපා සංගමය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ආයතන ප්‍රමුඛ මානව හිමිකම් සංවිධාන වල විරෝධය නොතකා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සදහා මේ වනවිට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින අතර මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ කැනඩාව මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අදහස් පලකර තිබේන අතර කොළඹ කතෝලික අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් වරයා සහ මල්වතු, අස්ගිරි බෞද්ධ පාර්ශව ඊට ප්‍රසාදය පල කර තිබේ.