ත්‍රස්තවාදී ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වෙලා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා

0

වර්තමාන යහපාලන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට මුවා වී ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසා සිටියා.

ඊයේ (13) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“එක් ඇමැතිවරයෙක් කියලා තිබුණා වෘත්තීය සමිති ත්‍රස්තවාදය අපි පරාජය කරනවා කියලා. අසූ ගණන්වල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අපේ වෘත්තීය සමිති සාමාජිකයන්ව මැරුවා. ත්‍රස්තවාදය හැමදාම ක්‍රියාත්මක කළේ ආණ්ඩුව, වෘත්තීය සමිතිවලට විරුද්ධව. වෘත්තීය සමිති තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගන්න තමයි ක්‍රියාත්මක වෙන්නේ. වැඩ නොකර ඉන්න අයිතිය මිනිස්සුන්ට තියෙනවා. උඹ වැඩ කළ යුතුමයි කියලා කියන්න ආණ්ඩුවට අයිතියක් නැහැ. දැන් ත්‍රස්තවාදීන් වෙලා තියෙන්නේ ආණ්ඩුව.”

“අපිට දැනගන්න තියෙන විදියට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු 55කට දෙලක්ෂය ගාණේ දීලා තියෙනවා. ඔවුන්ගේ නම් හෙළිවෙලා තියෙනවා. දැන් ඒකට මොකක්ද ජනාධිපතිතුමා කරන්නේ කියලා අපි අහනවා. අධීක්ෂණ මන්ත්‍රිවරු මොනවාද අධීක්ෂණය කළේ කියලා අපි අහනවා. මෙය රටට හෙළි කළ යුතුයි. දැන් ජනාධිපතිතුමා මැදිහත්වෙලා තියෙනවා සිංගප්පූරු ගිවිසුම ගැන නැවත විමර්ශනයක් කරන්න. ඒ වගේම ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ කැබිනට් පත්‍රිකා දෙකක් නිෂ්ප්‍රභ කරලා තියෙනවා. ඇමැතිවරුන්ට නඩු දැම්මහම ඔවුන්ට නීතිඥයන් අල්ලන්න පුළුවන් වෙන්න ඒ වෙනුවෙන් වියදම් කරන මුදල් ආණ්ඩුව ගෙවන්න. මේකත් ජනාධිපති නිෂ්ප්‍රභ කරලා තියෙනවා. නමුත් එක දෙයක් කියන්න තියෙනවා. තෙල් මිල නග්ගපු වෙලාවෙත් ජනාධිපති ඒක නිෂ්ප්‍රභ කළා. නමුත් ඊට පස්සේ ඔහුම ඒකට අනුගත වුණා. මෙතැනදී එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.”

“ලක්ෂ හයකට වඩා වියදම් කරලා එක පුටුවක් ගෙන්වන්න බස්නාහිර පළාත් සභාවට වුවමනා වුණා. ආණ්ඩුකාරවරයා මැදිහත් වීම නිසා ඒක වැළැකී තියෙනවා. මේ විදියට විශාල නාස්තියක් සහ විශාල ලෙස අයථා මුදල් පරිහරණයක් මේ රටේ සිද්ධ වෙනවා.”

“ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා අද මේ රටේ ඕනෑම පුරවැසියෙක් දන්නා පුද්ගලයෙක්. දක්ෂ දේශපාලන නායකයෙක්. ඔහු විපක්ෂය නියෝජනය කරන කෙනෙක් හැටියට ආණ්ඩුවට වඩා පහර ගන්නේ ඒකාබද්ධ විපක්ෂයට. මේ දැන් ඉන්න විපක්ෂය කියන අය ආණ්ඩු පක්ෂයේ හෙංචයියලා.”

Vasudeva Nanayakkara