UNP එපා…..රනිල් එපා….රට විකුණන එක නතර කරන තනි ආණ්ඩුවකට කාලය හරි!

0

එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ නොමැති ආණ්ඩුවක් පිහිටුවීම තම අපේක්ෂාව බව පර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක පවසනවා.

ඊයේ (23දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා.

“උදර්පන නීතිය ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැසට් කරගත්තා. අපි ඉල්ලන්නේ සිංගප්පූරුවේ සිටින අර්ජුන මහේන්ද්‍රන් වහාම ලංකාවට ගෙන්න ගන්න කියලයි. ඒ වගේම අගමැතිවරයා ඇතුළු මහ බැංකු හොරු සියලු දෙනාම නීතිය ඉදිරියට ගෙනියන්න කියලත් අපි කියනවා.”

“අපේ විරෝධතාවේ පළමු පියවර සැප්තැම්බර් 05 වැනිදා ඒකාබද්ධ විපක්ෂයත් සමඟ පවත්වන්න අපි සූදානම්. ශ්‍රී ලනිප විපක්ෂ කණ්ඩායම විදියට අප සූදානම් මේ රටේ සිදුවෙච්ච වංචා හා දූෂණ පිළිබඳව හඬ නඟන්න.මේවා පිටුපස සිටින රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම ඇතුළු මේ නඩය පලවා හරින්නට අප සූදානම්. අපට අවශ්‍ය එජාපය නැති ආණ්ඩුවක් ගොඩනඟා ගන්නටයි. කොළඹදී පැවැත්වෙන ඒ විරෝධතා ව්‍යාපාරයට අපි බොහොම උදේ‍යාගයෙන් යුතුව සහභාගි වෙනවා.”

“එජාපය මේවගේ දේවල් නොකඩවා සිදුකළා. අද මේ රටේ සම්පත් වේගයෙන් විකුණගෙන යනවා. මේවාට අගමැතිතුමාගේ සහායත් ලැබෙනවා. මලික් සමරවික්‍රම තමයි මේ දේවල් සිදු කරන්නේ.”

“2015 ජනවාරි 8 වැනිදායින් පස්සේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ රටේ නාස්තිය නැති කරන්න දූෂණය කෙළවර කරන්න දූෂිතයන් නීතියේ රැහැනට හසුකරන්න සහ රටට යහපාලන ප්‍රතිපත්තියක් ඇති කරන්න කටයුතු කරමින් ආණ්ඩුව ආරම්භ කළා. නමුත් ඒ තුළ එජාපය කළේ කුමක්ද? එයාලා පටන් ගත්තු දවසේ ඉඳන්ම හොරකම් කරන්න පටන් ගත්තා. මුදල් ඇමැතිවරයා දවසකට මිලියන 150ක් හොරකම් කළා කියලයි ව්‍යාපාර පැළැන්තිය කියන්නේ.”

“මේ ආණ්ඩුවේ ආර්ථිකය පරිපාලනය කළේ අගමැති රනිල් වික්‍රමසිංහයි. මේ වෙනකොට මේ රටේ යුද්ධයක් තිබුණේ නැහැ. ලෝකයේ ආර්ථික අර්බුදයක් තිබුණෙත් නැහැ. අනෙක් රටවල් ආරක්ෂිත ආර්ථික පද්ධතියක් ක්‍රියාත්මක කරද්දී අපේ රටේ එහෙම තත්ත්වයක් පෙනෙන්නට නැහැ. රනිල් හදන්නේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කරන්නයි.”  මන්ත්‍රිවරයා පවසා සිටියා.

S. B. Dissanayake