ආණ්ඩුවේ ජවුසං බලලා……ජනතාව මඤ්ඤං වෙලා…..!

0

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උවමනාව පරිදි ගෙන ආ පළාත් සභා සීමානිර්ණය පිළිබඳ පනතට අගමැති, විෂයභාර ඇමති ඇතුළු ආණ්ඩුව විරුද්ධ වීම, ඔහුට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කළ යුද ප්‍රකාශ කිරීමක් නොවේදැයි ජානිපෙ නායක විමල් වීරවංශ ප්‍රශ්න කරනවා.

පසුගිය දා රද්දොළුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

“මේක පැහැදිලිවම ජනාධිපතිවරයාට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් නොවෙයි ද? විපක්‍ෂයේ අපි ඒකට කොහොමත් විරුද්ධ වෙනවා. ඒක අපේ වැඩක්. නමුත් ආණ්ඩුවේ කට්ටිය විරුද්ධ වුණේ මොකද? එකෙන් පෙනෙනවා, ‘මේ ආණ්ඩුව මේ ජනාධිපතිවරයාව ගණන් ගන්නේ නැහැ’ කියලා. මහජනයා තමන් සතු විධායක බලය මේ ජනාධිපතිවරයාට ලබා දී තිබෙනවා. ඔහු ඒ විධායක බලය අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය හරහා ක්‍රියාවට නඟනවා. අගමැතිවරයා අතේ තිබෙන්නෙත් ඒ විධායක බලයෙන් පංගුවක් මිසක් වෙන දෙයක් නොවෙයි. දැන් ජනාධිපතිවරයාට විරුද්ධව ඇමතිලා වැඩ කරනවා, ජනාධිපතිට විධායක බලය දීපු මහජනතාව මඤ්ඤං වෙලා ඉන්නවා.”

“මේ වගේ ජවුසං බලන්න තියෙන්නේ කොයි රටේ ද? මේ වැඩෙත් හරියට අර මම හැමදාම කියන ‘සාජන්ට් නල්ලතම්බිගේ මරණය’ වගේ. එදා පොලීසියේ අණ නොතකා වාහනය ධාවනය කරපු නිහාල් සිල්වා (සාජන්ට් නල්ලතම්බි) රංගන ශිල්පියාට පොලීසියෙන් වෙඩි තැබුවා. ඒ වෙඩි තැබීමෙන් ඔහු මියගියා. ඔහු හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ හොඳ හිතවතෙක්. ඒ නිසා පසුව රාජ්‍ය අනුග්‍රහයෙන් කරපු ඒ මරණයේ ආදාහන කටයුතුත් රාජ්‍ය අනුග්‍රහයෙන්ම සිදු කළා. ඒ වගේ අද පනත ගෙනෙන්නෙත් ආණ්ඩුව, පරද්දන්නෙත් ආණ්ඩුව විසින්මයි. හරිනම් දැන්වත් අර දූවිලිකමින් තිබෙන ජනාධිපතිගේ කඩුව මේ අගමැතිට සහ ඇමති මණ්ඩලයට විරුද්ධව පාවිච්චි විය යුතුයි. නමුත් මෙතෙක්කල් සිදුවුණු දේවල් දිහා බලනකොට අපට එහෙම වෙයි කියා හිතන්න බැහැ.”

Wimal Weerawansa