අධිකරණයට ඇගිලි ගහන්න විධායකයට බෑ….අපේ මන්ත්‍රිවරු නඩු අහන්නේත් නෑ….!

0

අගවිනිසුරුවරයා, නීතිපතිවරයා, පොලිස්පතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත් කිරීමට ජනාධිපතිවරයා සතුව තිබූ බලතල 19 වැනි සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත මණ්ඩලයට පැවරීම හේතු කොට අධිකරණයට ඇඟිලි ගැසීමට ජනාධිපතිවරයාට තිබූ බලය අහෝසි වීම නිසා අධිකරණයේ ස්වාධීනත්වය සමඟ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්‍ෂිත කිරීමට හැකිවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පවසනවා.

ඊයේ (28) සිරිකොතදි පැවති මාධ්‍ය හමුවේදි අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා සිටියේ තමන්ගේ ආණ්ඩුවක් බලයට පැමිණි පසු වත්මන් ආණ්ඩුවේ ස්ථාපිත කළ විශේෂ මහාධිකරණ අහෝසි කරන බව බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනතා මුදල් අවභාවිත කළ බවට තම හෘද සාක්‍ෂියෙන් ගැලවීමට නොහැකි නිසා බවයි.

“පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදී අප දුන් පොරොන්දු අතරින් ප්‍රමුඛත්වය ලැබුණේ පසුගිය කාල සීමාවේ සිදුවූ වංචා දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පරීක්‍ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් ලබාදීම පිළිබඳවයි. මෙම ආණ්ඩුව බලයට පැමිණි පසු එම පොරොන්දු ඉටුනොකරන බවටත්, අධිකරණ කටයුතු මන්දගාමීව සිදු කෙරෙන බවටත් ජනතාව අපට දිගින් දිගටම චෝදනා කළද නීතිය ක්‍රියාත්මක කර සරත් ෆොන්සේකා මහතා හිරේ දැමීම, හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවේදි නඩු අසා තනතුරෙන් ඉවත් කළ ආකාරයට වැඩකරන්න අපේ ආණ්ඩුවට බැහැ.”

“අද බැසිල්ලා, ගෝඨාභයලාට අධිකරණය ඉදිරියට ගිහින් තමන් පිළිබඳ නඩුවලට එරෙහිව යම්යම් නියෝග ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒවාට කිසිවකුට ඇඟිලි ගහන්න, මැදිහත් වෙන්න, බලපෑම් කිරීමට හැකියාවක් නැහැ. මහින්ද රාජපක්‍ෂ පාලනය අහෝසි කළ ස්වාධීන කොමිසම් සියල්ල අපි යළි ස්ථාපිත කළා. ජනතාවට සත්‍ය දැනගැනීමට ඇති අයිතිය තහවුරු කරමින් තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කළා. පසුගිය ආණ්ඩු සමයේ කරු ජයසූරිය මැතිතුමා එම පනත ගෙන ආ වෙලාවේ රාජපක්‍ෂ ආණ්ඩුව එය තම ඡන්ද බලය යොදාගෙන ප්‍රතික්ෂේප කළා. මැතිවරණ කොමිසම, අල්ලස් කොමිසම ශක්තිමත් කළා. මේ වන විට අල්ලස් නඩු 250ක් පමණ අධිකරණයට යොමුකර තිබෙනවා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ සමානාත්මතාව, මානව හිමිකම් සුරක්‍ෂිත කිරීමට ගතවූ වසර තුළ අපේ ආණ්ඩුව විශාල කැපවීමක් සිදුකර තිබෙනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.