වැඩකරන ජනතාවටත් ආණ්ඩුව කොකා පෙන්නලා…..බිලියන 2000ක ආණ්ඩුව සූදු කෙලිනවා!

0

සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් බිලියන 2000 ක මුදල රජය අනර්ථකාරි ආයෝජනයේ යෙදවීමට ආණ්ඩුව කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කරනවා.

අද (02) පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

එහිදි අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“වත්මන් ආණ්ඩුවේ වසර 3ක පාලන කාලය තුළ රටේ ආර්ථිකය බරපතල ලෙස කඩා වට්ටලා තිබෙනවා. රටේ ජනතාවට තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යා නොහැකි ලෙස උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. ග‍්‍රාමීය ජනතාව තමන් ගත් ණය ගෙවාගත නොහැකි තත්වයකට මුහුණ පාලා. රටේ ජාතික ණය නැවත ගෙවාගත නොහැකි තත්වයක තිබෙනවා. රුපියලේ අගය වේගවත් ලෙස පහළ බසිමින් තිබෙනවා. මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල රු. 162.50කට අධික අගයකට පැමිණ තිබෙනවා. වර්තමාන පාලනයත් පැවති පාලනයත් ගනු ලැබූ අසාර්ථක ආර්ථික කි‍්‍රයාමාර්ග හේතුවෙන් අද අපේ රට විශාල ආර්ථික අර්බුදයක හිරවී තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ පාලනය ගතවන තත්පරයෙන් තත්පරය පෙන්වමින් තිබෙන්නේ මෙම පාලනයට අපේ රටේ ආර්ථිකය තව දුරටත් ගොඩගත නොහැකි බවයි. ඒ විතරක් නෙවෙයි, වංචාවේ, දූෂණයේ, නාස්තියේ බර මුළුමනින්ම මහජනතාව මත පටවමින් තිබෙනවා. රටේ ජාතික සම්පත් විකිණීම හැර අන් කිසිදු ආර්ථික උපායමාර්ගයක් නැති බව ඔවුන් රටට ඔප්පු කරමින් තිබෙනවා.”

“චන්ද්‍රිකා පාලන සමයේ ටෙලිකොම් සමාගම පුද්ගලීකරණයට ලක්කළා. රජය සතු කොටස් ප‍්‍රමාණය 49.5%ක්ද මැලේසියානු සමාමගකට කොටස් 45%ක්ද අනෙකුත් පුද්ගලික සමාගම්ද කොටස් 5%ක පමණ ප‍්‍රමාණයක්ද හිමිව තිබෙනවා. වර්තමාන පාලනය විසින් ටෙලිකොම් සමාගම සතු කොටස්වලින් 10%ක් කොටස් වෙළඳපොළෙට මුදාහරින්න තීරණය කොට තිබෙනවා. එවිට රජය සතු කොටස් ප‍්‍රමාණය මැලේසියානු සමාගම සතු කොටස් ප‍්‍රමාණයට වඩා එනම් 44%කට වඩා අඩු අගයකට පහත බැසීම මගින් රජය සතු පංගුව අත්හැරීමට සිදුවෙනවා. එමගින් ටෙලිකොම් සමාගම පුද්ගලික අංශය වෙත මුදාහැරීමට කටයුතු කරමින් තිබෙනවා. ලංකා හොස්පිට්ල් ආයතනය විකුණා දැමීමට දැනටමත් කටයුතු කරමින් තිබෙනවා. ඒ වගේම ලංකා බැංකුව, මහජන බැංකුව වැනි රාජ්‍ය බැංකු පද්ධතිය රාජ්‍ය සතු අයිතිය අත්හරමින් කොටස් වෙළඳපොළෙට මුදාහරින්න කටයුතු කරමින් තිබෙනවා. මත්තල ගුවන්තොටුපොළ විකිණීම සඳහා අදාල පනත සංශෝධනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා. ති‍්‍රකුණාමළය තෙල් ටැංකි විකිණීමට මේ වනවිටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා. මේ ආකාරයට රාජ්‍ය සම්පත් විකුණමින් බඩවියත රැක ගැනීමට ආණ්ඩුවට සිදුවී තිබෙනවා.”

“මෙහි භයානකම තත්වය පත්ව තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. 2016 වසරේදී ලංකාව සහ ආසියානු සංවර්ධන බැංකුව ගිවිසුමක් අත්සන් කළා. එහි 14වැනි වගන්තියට අනුව 2017 මාර්තු මාසයේදී ආසියානු සංවර්ධන බැංකුවත් ද-ඒරියන් නැමති ඇමරිකානු සමාගමක් එක්ව සකස් කරන ලද ධවල පති‍්‍රකාවක් ලංකා ආණ්ඩුවට ලබාදී තිබෙනවා. එමගින් යෝජනා කොට තිබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීම පිළිබඳවයි. ඒ සඳහා අවශ්‍ය වන ප‍්‍රතිපත්ති සහ කි‍්‍රයාමාර්ග සම්පූර්ණයෙන් එහි යෝජනා කොට තිබෙනවා. මෙම යෝජනාවට අනුව ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක ණය මුදලක් ලංකාවට ලබාදීමට නියමිත අතර ඒ වෙනුවෙන් ඔවුන්ගේ කොන්දේසි සම්පූර්ණයෙන් ඉටු කළ යුතුව තිබෙනවා. එම ණය මුදලින් ඩොලර් මිලියන 250ක්ම ලබා දෙන්නේ සේවක අර්ථසාධක අරමුදල ප‍්‍රතිව්‍යූහගත කිරීමටයි. 2019 මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 125ක්ද තුන්වන කාර්තුවේදී ඩොලර් මිලියන 125ක්ද ලබාදීමට නියමිතයි. එම ණය මුදල ලබාගැනීමට සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ යෙදවීම සඳහා ප‍්‍රතිපත්ති සහ කි‍්‍රයාමාර්ග ආණ්ඩුව විසින් ගත යුතුව තිබෙනවා. ආණ්ඩුවේ සැලසුම් අනුව 2025වනවිට රජය සතු සම්පත් සියල්ල කොටස් වෙළඳපොළට නිකුත්කොට පුද්ගලීකරණය කිරීමට සැලසුම් සකස් වෙමින් තිබෙනවා. ඒ වනවිට ඇතිවිය හැකි ප‍්‍රාග්ධන හිඟය ආවරණය කිරීම සඳහා ආසියාවේ විශාලතම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල යොදාගැනීමේ උපක‍්‍රය තමයි මේ කි‍්‍රයාත්මක වෙමින් තිබෙන්නේ.”

“සේවක අර්ථසාධක අරමුදල සතුුව රුපියල් ටි‍්‍රලියන 2ක මුදලක් එනම් බිලියන 2,000ක මුදලක් තිබෙනවා. රු. කෝටි ලක්‍ෂ දෙකක්. එය දැවැන්ත අරමුදලක්. 2016 වසරේ ආයෝජනයන්ගෙන් පමණක් බිලියන 193ක, කෝටි 2.000කට ආසන්න ආදායමක් ලබාගෙන තිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල ආයෝජනය කොට තිබෙන්නේ අරමුදලින් 5%ක පමණ ප‍්‍රමාණයකි. එම මුදල ආයෝජනය කොට තිබෙන්නේ මහ බැංකු බැඳුම්කරවල සහ භාණ්ඩාගාර බිල්පත්වලයි. එම නිසාම විශාල ආදායමක් ලැබෙන අතර එම ආයෝජන සඳහා සහතිකයක් ලැබෙනවා. නමුත් ආණ්ඩුව අත්සන් කරන ලද ගිවිසුම අනුව දැන් කරන්නට යන්නේ සේවක අර්ථසාධක අරමුදලින් 30%-40% අතර ප‍්‍රමාණයක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කිරීමටයි. ඉතිරි 60%ත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් හරහා කොටස් වෙළඳපොළේ ආයෝනයට අවස්ථාව ලබාදීමට නියමිතයි. එනම් සේවක අර්ථසාධක අරමුදලේ ටි‍්‍රලියන දෙකක මුළු මුදලම කොටස් වෙළඳපොළේ ආයෝජනයට අවස්ථාව නිර්මාණය කරනවා. එය ඉතා අවදානම් කටයුත්තක්. පසුගිය කාලයේ එනම් 2008-2012 වසර 4ක කාලය සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළඳපොළේ ආයෝජනයෙන් සිදුව ඇති පාඩුව කෝටි 2800ක්. එසේ වී තිබෙන්නේ ආණ්ඩුවේ දූෂිත ගණුදෙනු හරහා ගජ මිතුරන් සමඟ සූදු කෙළින්න මෙම අරමුදල යොදාගත් නිසයි. ආණ්ඩුවේ හිතවතුන්ගේ කඩාවැටෙන සමාගම් ගොඩ දාගන්න සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදාගත්තා. දූෂිත බැඳුම්කර ගණුදෙනුවේ වාර්තා අනුව පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ගණුදෙනුව සිදුකළ මොහොතේ කෝටි 1100ක අයුතු ලාභයක් ලබාගෙන තිබෙනවා. ඒ මොහොතේ සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව කෝටි 850ක්. සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව තමයි පර්පචුවල් සමාගමේ ලාභය ලෙස ලැබී තිබෙන්නේ. එම නිසා ආණ්ඩුවල මෙම දූෂිත ගණුදෙනුවලට අද යොදාගන්නේ අරමුදලින් 5%ක්. එම මුදල 40% දක්වා වර්ධනය කළ විට අත්කර දෙන විනාශය කොපමණදැයි හිතාගන්න පුළුවන්.”

“ආණ්ඩුව මේ අත තබන්නේ වැඩකරන ජනතාව සතු අරමුදලටයි. මෙම අරමුදලේ ගිණුම් ලක්‍ෂ 26ක් තිබෙනවා. එනම් වැඩකරන ජනතාව ලක්‍ෂ 26ක් මෙහි හිමිකරුවන්ෙ වෙනවා. එම අරමුදලේ භාරකාත්වයක් පමණයි ආණ්ඩුවට තිබෙන්නේ අයිතිකරුවන් වන්නේ වැඩකරන ජනතාවයි. භාරකරුවන්ට එනම් ආණ්ඩුවට මෙම අරමුදල විනාශ කරන්න ඉඩදෙන්න පුළුවන්කමක් නැහැ. පහුගිය කාලයේ ආණ්ඩුවල ඞීලර්ස්ලාට ගජ මිතුරන්ට සූදු කෙළින්න මෙම අරමුදල් සැපයීමෙන් පාඩු සිදුවුණේ වැඩකරන ජනතාවටයි. එම නිසා මෙය කිසි සේත්ම කි‍්‍රයාත්මක කරන්න ඉඩ දියයුතු නැහැ. 1957 අරමුදල වෙනුවෙන් සකස් කළ පනතේ පැහැදිලිව සඳහන් කොට තිබෙනවා ආයෝජන සඳහා 2.5ක% අවම ප‍්‍රතිලාභයක් ලැබිය යුතුයි කියලා. නමුත් ගිවිසුම අනුව එම කොන්දේසිය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. එම නීතිමය බාධාව ඉවත් කරන්න සංශෝධන ගේන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ආණ්ඩුව රාජ්‍ය සම්පත්, රාජ්‍ය ආයතන විකුණමින් ඇවිත් අවසානයේ වැඩකරන ජනතාව සතු අරමුදලටත් අත තබා තිබෙනවා. මෙම ප‍්‍රයත්නය මුළුමනින්ම පරාජයට පත්කරන්න ගතයුතු කි‍්‍රයාමාර්ග පක්‍ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණත් වෘත්තීය සමිති ව්‍යාපාරයත් ඒකාබද්ධව ගන්නවා. තමන්ගේ අරමුදල ආරක්‍ෂා කරගන්න වැඩකරන ජනතාව ලෙස පෙරට එන්න කියලා අපි ජනතාවට ආරාධනය කරනවා.”

Anura Kumara Dissanayaka