අනාගතය පිළිබඳව සැලසුම මාසයකින් හෝ වසරකින් කරන්න බෑ

0

අනාගතය පිළිබඳව අප ඇති කර තිබෙන සැලසුම මාසයකින් හෝ වසරකින් ක්‍රියාවට නැංවීමට තමන් කැමති වුවත් ඒ සඳහා තරමක කාලයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

බදුල්ල – චෙන්කලාඩි මාර්ගයේ බිබිල සිට චෙන්කලාඩි දක්වා සංවර්ධන කටයුතු ආරම්භ කිරීම  සහ නැගෙනහිර පළාතේ  කල්කුඩා ප්‍රදේශයේ ඉදිකළ එම්. ජේ. එෆ්. මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව කියා සිටියා.

එම්. ජේ. එෆ්. මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අගමැතිවරයා කල කතාව 

මඩකලපුව යුද්ධයෙන් විනාශ වුණා. සුනාමියෙන් අසරණ වුණා. එවැනි තත්ත්වයක් තුළ මේ දිස්ත්‍රික්කයට උදව් උපකාර කිරීමට මෙරිල් ජේ. ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් වී සිටිනවා. එතුමාත් එතුමාගේ සමාගම යුද්ධයෙන් සහ සුනාමියෙන් පසු මේ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට වැඩකටයුතු සිදු කරමින් සිටිනවා.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උපකාර කිරීම. කජු වගා කිරීම සුළු ව්‍යාපාර සඳහා සහයෝගය ලබාදීම ආදී සියලූ කටයුතු සිදු කරමින් අද ඒ සියලූ වැඩසටහන් වෙනුවෙන් එක් මධ්‍යස්ථානයක් ඇති කිරීමට කටයුතු කර තිබෙනවා.

තිරසාර සංවර්ධනයක් සිදු කිරීමටත් මේ ප්‍රදේශයේ ජනතාවට ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක වෙනවා. එම නිසා ඒ වෙනුවෙන් මෙරිල් ජේ. ප්‍රනාන්දු මැතිතුමාට මාගේ ස්තුතිය පුදකර සිටිනවා.

මඩකලපුව දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය අතින් ගත් කළ පසුගාමී දිස්ත්‍රික්කයක් ලෙස හැදින්විය හැකියි. මේ ප්‍රදේශය යුද්ධය නිසා විනාශ වී තිබුණා. පසුව අප මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් සලසා දුන්නා. දැන් ක්‍රමක්‍රමයෙන් එම දියුණුව ලැබෙමින් තිබෙනවා.

යුද්ධය පැවති ප්‍රදේශවලට දියුණුව ප්‍රමාද වී පැමිණීම ලෝක ස්වභාවයයි. නමුත් අප එම සංවර්ධනය සීග්‍රව ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වෙනවා. මෙරිල් ප්‍රනාන්දු මැතිතුමාත්, එම්.ජේ.එෆ් පදනමත් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. එය අපි අගය කළ යුතුයි.

මෙම භූමියේ වගා කර ඇති කජු අස්වැන්න අනාගතයේදී මඩකලපුවේදීම විකුණා ලාභ ලබාගත හැකි තත්ත්වයක් උදා වෙනවා. ශ්‍රී ලංකාවේ කජුවලට විශාල ඉල්ලූමක් තිබෙනවා. මෙම මධ්‍යස්ථානයේ හෝටල් පාසැල් හරහා තරුණ තරුණියන්ට පුහුණුව ලබා දෙනවා. ඒ වගේම තම නිවාසවල නවාතැන් පහසුකම් සංචාරකයින්ට ලබාදීමටත් කුඩා ව්‍යාපාර පවත්වාගෙන යාමටත් ඉදිරියේදී මේ ප්‍රදේශයේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා විශාල අවස්ථාවක් මෙම මධ්‍යස්ථානය හරහා ලැබෙනවා.

මේ ප්‍රදේශවල තව තවත් යටිතල පහසුකම් ඇති කළ යුතුව තිබුණා. එය අප සිදු කළා. නමුත් අපේ කාර්යභාර්ය ඉන් සීමා වන්නේ නැහැ. ඉන් පසුව ගම තුළට ගොස් ආධාර උපකාර කිරීමටත් සිදුවෙනවා. අපේ රජය නැගෙනහිර පළාතට විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ත්‍රිකුණාමල සංවර්ධන සැලැස්ම අපි නිර්මාණය කර තිබෙනවා. මෙම ප්‍රදේශවල කෘෂිකර්මාන්තය දියුණු කිරීමට වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත් අපි කටයුතු කරනවා.

කටුනායක ගුවන්තොටුපලේ සිට මඩකලපුවට පැමිණීමේදී විශාල අපහසුතාවක් තිබෙනවා. අපි ඊට විසඳුම් 2 ක් හඳුන්වා දී තිබෙනවා. මේ වසර අවසානය වන විට මත්තල ගුවන් තොටුපල ක්‍රියාත්මක කිරීම හරහා සංචාරකයින්ට පැය දෙකකින් දෙකහාමාරකින් පමණ මඩකලපුවට පැමිණිමට හැකියි. මඩකලපුව ගුවන් තොටුපලක් මේ වන විට සිවිල් ගුවන් සේවය හරහා අළුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා. ලංකාවේ සමාගම් 2 ක් සමඟ අප සාකච්ඡා කරමින් සිටින අභ්‍යන්තර ගුවන් සේවා ආරම්භ කිරීමට. ඒ අනුව ඉදිරියේදී කොළඹ – මඩකලපුව – ත්‍රිකුණාමලය – සීගිරිය – පළාලි ආදි ප්‍රදේශවලට අභ්‍යන්තර ගුවන් ගමන් ඇතිවෙනවා. මේ හරහා ඉදිරියේදී මේ ප්‍රදේශයේ යම්කිසි වෙනසක් සිදු වෙන බව පැවසිය යුතුයි. සංචාරක ව්‍යාපාරයේ දියුණුවට එය විශාල ලෙස බලපානවා. සංචාරක ව්‍යාපාරය හරහා රැකියා, ආදායම් මාර්ග ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම ප්‍රදේශවල තොරතුරු තාක්‍ෂණය හරහා විශාල දියුණුවක් අප ඇති කරනවා. මඩකලපුව, කල්මුණේ, අම්පාර යන ප්‍රදේශවල අධ්‍යාපනය ලැබූ විශාල තරුණ පිරිසක් සිටිනවා. සිංහල – ද්‍රවිඩ – මුස්ලිම් සියළුම තරුණ තරුණියන් හරහා අප එම දියුණුව ඇති කරනවා.

අනාගතය පිළිබඳව අප ඇති කර තිබෙන සැලසුම මාසයකින් හෝ වසරකින් ක්‍රියාවට නැංවීමට මමත් කැමතියි. නමුත් එය අපහසුයි. අපට ඒ සඳහා තරමක කාලයක් අවශ්‍යයි. පසුගිය වසර කිහිපය අප ගත කළේ ඒ සඳහායි. නමුත් ජනතාව දුක් විදි බව මා හොදින් දන්නවා. දැන් තිබෙන්නේ සැලසුම් සමඟ ඉදිරියට යාමටයි. ආණ්ඩුවකට තනිව මෙම කටයුතු සිදු කළ නොහැකියි. ඒ සඳහා ග්‍රාමීය ව්‍යාපාර අවශ්‍ය වෙනවා.

ඩිල්මා සමාගම හරහා ගෙන යන මෙම ව්‍යාපාරය ග්‍රාමීය මට්ටමට ළගා වන ව්‍යාපාරයක්. සෑම නිවසකටම ආධාර උපකාර ලබාදෙන ව්‍යාපාරයක්. අප රජයක් ලෙස ආධාර උපකාර ලබාදෙන්නේ එවැනි වැඩසටහන් සඳහායි. ඒ වගේම ඔබ ආයතන මෙවැනි වැඩසටහන් ආරම්භ කළ විට ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට එක්කර ගැනීමට හැකියාව තිබෙනවා.

ඉන් ලබාදෙන ණය මුදල් හරහා ඔබට සාර්ථකව හොඳ ආයෝජනයක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. මෙම වැඩකටයුතු වෙනුවෙන් මඩකලපුවට සුභ දවසක් වන අද දිනයේ මෙරිල් ප්‍රනාන්දු මහතාට අවසන් වශයෙන් ස්තුතිවන්ත වෙනවා.