නීතියක්‌ හා ස්‌ථාවරත්වයක්‌ නොමැති නම් රටේ දියුණුවක්‌ නෑ

0

පසුගිය වසර තුනේදී මේ රටේ අපරාධ සියයට 35 කින් අඩුවී ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ පවසයි.

152 වන ජාතික පොලිස් දින සැමරුමට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කළේ රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමේ වගකීම පොලිසියට භාරදී තිබෙන බවද නීතියක්‌ හා ස්‌ථාවරත්වයක්‌ නොමැති නම් රටේ දියුණුවක්‌ නැති බවයි.

රටක නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යාමට නොහැකි බවද අගමැතිවරයා පෙන්වා දුන්නා.

බම්බලපිටිය, පොලිස් ක්‍රීඩාංගනයේදී 2018 සැප්තැම්බර් මස 03 වන දින පැවැති  152 වැනි ජාතික පොලිස් දින සැමරුම් උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ කතාව

ඈත අතිතයේ සිට රාජ්‍යයන් බිහිවුණේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටයි. ඉතිහාසයට අනුව මිනිසුන් සභාවල රැස්වී තම රාජ්‍ය ආරක්ෂා කිරීමට නායකයන් තෝරා ගත්තා. එලෙස නායකයන් තෝරා ගත්තේ තම රාජ්‍යයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටයි. ලිච්ඡවි රාජ්‍ය වේවා, ශ්‍රී ලංකාවේ විවිධ රාජධානි වේවා, ඒ සියල්ල තුළ නීතිය සාමය ආරක්ෂා කිරීමට තම නායකයන් තෝරා ගත්තා. අතීතයේ මුදල් භාවිතයක් නොතිබුණත් නීතිය හා සාමය සුරැකීමට නායකයෙක් අවශ්‍ය වුණා. රාජධානි බිහිවුණේ එම නායකයන්ගේ මූලිකත්වයෙනුයි. රාජ්‍යයක මූලික වගකීම වූයේ නීතිය, සාමය සුරකිමින් ඒ රටේ ජනතාවගේ ජීවිතය පවත්වාගෙන යාමට අවස්ථාව සැලසීමයි. අද රටවල් පාලනය වන්නේ නීතිය සැකසී තිබෙන්නේ ඒවා පදනම් කර ගෙනයි. රටක නීතිය, සාමය ආරක්ෂා කිරීමට නොහැකි නම් ඒ ආණ්ඩුවට බලය පවත්වා ගැනීමටත් නොහැකි වෙනවා.

නීතිය, සාමය ක්‍රියාවට නංවමින් එංගලන්තය පොලිස් සේවය ආරම්භ කළා. පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම, නීතිය ක්‍රියාත්මක කරවීම ආදිය යුධ හමුදාවෙන් හෝ වෙනත් සිවිල් නිලධාරීන් හරහා සිදු නොකොට ඒ වෙනුවෙන්ම ආයතනයක් ආරම්භ කිරීමට බි්‍රතාන්‍ය කටයුතු කළා. අද එම පොලිස් සේවාව ලෝකය පුරා ක්‍රියාත්මක වී තිබෙනවා. ඇතැම් කුඩා රාජ්‍යයන් වල යුධ හමුදාවක් නොමැති වුවත් පොලිස් සේවයක් තිබෙනවා. නීතිය හා සාමය ආරක්ෂා වීමට එතරම් වැදගත්කමක් හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සුරැකීමේ වගකීම පොලිසියට බාරදී තිබෙනවා. එය පොලිසියේ වගකීමක්. නීතිය හා සාමය ආරක්ෂා කරන යාන්ත්‍රණයක් ලෙස පොලිසිය ඉදිරියට ගෙන ඒම අපේ අරමුණයි. අද ලෝකය පුරා පොලිස් සේවයේ වැදගත්කම වැඩි වී තිබෙන බව කිව යුතුයි.

මත්ද්‍රව්‍ය,සයිබර් අපරාධ ආදි නීතිය ආරක්ෂා කළ යුතු අංශ ගණනාවක් දැන් ඇතිවී තිබෙනවා. ඒවගේම එම තත්වයන් පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය වැනි පොලිසිය සමඟ ක්‍රියාත්මක වන අර්ධ හමුදා ආයතන අප නිර්මාණය කර තිබෙනවා. අපේ කලාපයේ ආරම්භ වූ ප්‍රථම අර්ධ හමුදා ආයතනය ලෙස පොලිස් විශේෂ කාර්ය බලකායට ආඩම්බර විය හැකියි.

නීතියත්, එදිනෙදා සාමය ඇති කිරීමත් පොලිසියට සහ විශේෂ කාර්ය බලකායට පැවරී තිබෙනවා. නීතිය, සාමය නොමැති නම් රටේ ස්ථාවරත්වයක් නැහැ. රටේ ස්ථාවරභාවයක් නොමැති නම් දියුණුවක් ඇතිවන්නේ නැහැ. එදිනෙදා සංවර්ධන කටයුතු සිදුකිරීමටත්, රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමටත්, රටේ ස්ථාවරභාවය වැදගත් වෙනවා. එම නිසා එම කාර්යයන් සිදු කිරීමට පොලිසියත්, විශේෂ කාර්ය බලකායත් ශක්තිමත් කිරීම අපේ අරමුණයි.

පොලිසිය ලෙස අප කළ වැඩ කොටසින් සෑහීමකට පත් නොවී පසු බැසීම් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි. නිමා වූ පළාත් පාලන මැතිවරණය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකිවීම මේ වසරේ පොලිසිය ලද විශාල ජයග්‍රහණයක් ලෙස හැදින්විය හැකියි. රටේ විවිධ ස්ථාන ගණනාවක ඡන්ද පෙට්ටි විවෘත කරමින් ඡන්දය ගණන් කිරීමේදී ගැටළුවක් ඇති නොවීමට පොලිසිය කටයුතු කළා. ඒ වගේම දිගන දී සිදුවූ සිදුවීම පොලිසිය පැත්තෙන් ගත් කළ කණගාටුවට කරුණක් බවත් සිහිපත් කළ යුතුයි. එම සිදුවීම් හරහා අප පාඩම් ඉගෙන ගත යුතුයි. ෆේස්බුක් වැනි නව තාක්ෂණය ඔස්සේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ඇති බලපෑම් මොනවාද යන්න පිළිබඳව එහිදී අපට අවබෝධ කරගත හැකි වුණා. ඉදිරියට පොලිස් තාක්ෂණික අංශය වඩා හොදින් ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කළ යුතුයි.

පොලිස් සේවාව ජනතාව අතරට ගෙනයාමට අප කටයුතු කළ යුතුයි. රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමාත්, පොලිස්පති තුමාත් ප්‍රජා පොලිස් සේවාව ආරම්භ කිරීමට විශාල උනන්දුවක් ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩකටයුතු සිදුකිරීමටත්, පොලිස් ස්ථාන ආරම්භ කිරීමටත්, පොලිස් සේවය නවීකරණය කිරීමටත් අමාත්‍යවරුන් දෙදෙනා කටයුතු කරනවා. එම නිසා පොලිස්පතිතුමා ඇතුළු පොලිසියට තිබෙන්නේ අමාත්‍යවරුන් සමඟ එක්ව කටයුතු කිරීමයි.

පොලිස් සේවයේ සංවර්ධනය වෙනුවෙන් වැඩකටයුතු රාශියක් කිරීමට අපට හැකිවුණා. පඩි වැඩි කළා. අවශ්‍ය පහසුකම් ලබා දුන්නා. ඒ වගේම විසදිය යුතු තවත් ගැටළු කිහිපයක් තිබෙනවා. පොලිස් කොමිසම කැඳවා එම ගැටළු ඉක්මනින් විසදන ලෙස අමාත්‍යතුමාටත්, පොලිස්පතිතුමාටත් මම උපදෙස් ලබාදී තිබෙනවා. ඊට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව මුදල් ඇමතිතුමාත් ප්‍රකාශ කර තිබෙනවා.

2014 – 2017 කාලය තුල පොලිසියේ වාර්තා බැලූ විට මෙරටේ අපරාධ 35% කින් අඩුවී තිබෙනවා. ඒවගේම අපරාධ විසදීම 20% වැඩිවී තිබෙනවා. 2014 වසරේදී අපරාධ 50962 ක් වාර්තා වී තිබෙනවා. ඒ කාලයේ විසදා තිබුණේ ඉන් 58% පමණයි. 2017 වසරේ වාර්තා වූ අපරාධ සංඛ්‍යාව 35971 ක් පමණයි. ඉන් 79% විසදීමට පොලිසියට හැකිවුණා. ඒ වෙනුවෙන් මම ඔබ සියලූ දෙනාටම ස්තුති කරනවා. ඒ වෙනුවෙන් අපට ආඩම්බර විය හැකියි.

තමන් නිවසින් පිටත සිටින විට තම නිවසට ආරක්ෂාවක් ඇති බව, හිරිහැරයක් නොමැති බව සාමාන්‍ය ජනතාවට දැනෙනවා. තමන් සුරක්ෂිත බව කාන්තාවන්ට දැනෙනවා. සෑම තැනකම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු නොවීමට කටයුතු කරනවා. අප වැඩකටයුතු කරන්නේ මේ ආකාරයටයි. මේ වෙනුවෙන් ඇමතිතුමාත්, පොලිස්පතිතුමාත් විශේෂ පියවර කිහිපයක් ගෙන තිබෙනවා. හදිසි ප්‍රතික්‍රියා අංශය ඇති කිරීමට පියවර ගෙන තිබෙනවා.

හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක ඇමතිතුමා යටතේ පොලිස් විශ්ව විද්‍යාලය ඇතිකිරීමට අවශ්‍ය සැලැසුම් අප සකස් කළා. ඒ වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබාගනිමින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපි බලපොරොත්තු වෙනවා. රටේ සාමය ආරක්ෂා වන්නේ පොලිසිය නිසයි. පොලිසියෙන් සිදුවන සේවය මාධ්‍යයේ පලවන්නෙ  නැති බව පොලිස්පතිතුමා මා සමඟ පවසනවා.

නමුත් මම පොලිස්පතිතුමාට පැවසිය යුතු දෙයක් තිබෙනවා. මේ රටේ චෝදනාවන්ට ලක්වන කණ්ඩායම් දෙකක් තිබෙනවා. ඒ කණ්ඩායමක් දේශපාලඥයින් වන අතර අනෙක් කණ්ඩායම වන්නේ පොලිසියයි. කොතරම් හොඳ කළත් බොහෝ විට පොලිසියට එල්ල වන්නේ චෝදනා පමණයි. දේශපාලනඥයන් ලෙස අපට චෝදනා එල්ල වුවත් රැස්වීමකදී හෝ අප කළ කාර්යයන් පිළිබදව පැවසිය හැකියි.

යුද්ධය පැවති කාලයේ බෝම්බයක් පිපිරෙනවා නම් මාධ්‍යයේ ප්‍රමුඛ පුවත වන්නේ එයයි. නමුත් දැන් පොලිසියට චෝදනා එල්ල වන ආකාරයේ ප්‍රවෘත්ති නම් මාධ්‍ය විශාල ලෙස විකාශය කරනවා. නමුත් පොලිසියෙන් සිදුවන සේවාව අප අමතක කර නොමැති බව මම මේ මොහොතේ පවසනවා. එම නිසා පොලිසියටත්, විශේෂ කාර්ය බලකායටත් අවශ්‍ය සියලූම සහයෝගය අපි ලබාදෙන බව මම ප්‍රකාශ කරන්න කැමතියි. ඒවගේම පොලිසියෙන් සිදුවන සේවාව වෙනුවෙන අවසන් වශයෙන්් මගේ ස්තුතිය පුද කර සිටිනවා.