අනිද්දා හදන ආණ්ඩුවේ අගමැති නාමල්ද…විරෝධතාකරුවන්ට හරින්ගෙන් බත් පාර්සල් දාහක්!.. ඒකාබද්ධය ලැහැස්ති වෙන්නේ බිලි පුජාවකට? තහනම් නියෝගයෙන් රත්වු පාර්ලිමේන්තුව

0

ඒකාබද්ධ විපක්ෂය කොළඹදි පවත්වන උද්ඝෝෂණය වැළැක්විමට ආණ්ඩුව ක්‍රියාකර සභාවට බොරු කියන බවට චෝදනා කරමින් විපක්ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරු සභා ගැබට පැමිණ ඝෝෂා කරන්නට වීම නිසා පාර්ලිමේන්තුව හෙට (05) දක්වා කල් තැබීමට කතානායක කරු ජයසූරිය කටයුතු කළා.

විපක්ෂයේ සිටින ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව මැදට පැමිණෙද්දි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුද සභා ගැබ මැදට පැමිණ ඝෝෂා කිරිම නිසා තත්ත්වය පාලනය කර ගැනීම සඳහා කතානායකවරයා මෙසේ සභව කල් තබා තිබේ.

අගමැතිවරයාට සහ පොලිසිය භාර ඇමතිවරයාට චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභාව මැදට පැමිණ කෑ කෝ ගසන්නට වූයේ අද පවත්වන උද්ඝෝෂනයට ආණ්ඩුව බාධා කරමින් සභාවට බොරු කියන බවට විරෝධය පළකරමිනි.

පෞද්ගලික බස් රථවලට තහනම් නියෝග පනවා උද්ඝෝෂනයට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝග ලබාගැනීමට පොලිසිය ගන්නා උත්සාහයට විරෝධය දක්වමින් සභාවේ කරුණු දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ ක්‍රිඩාපිටි ලබාදීමද ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ සඳහා අගමැතිවරයා සහ නිතිය හා සාමය භාර ඇමතිවරයා ලබාදුන් පිළිතුරු ප්‍රමාණවත් නැතැයි කියමින් ආණ්ඩුවත් බොරු කිව්වා…. අගමැතියත් බොරු කිව්වාෙ යනුවෙන් කෑ කෝ ගසද්දී එය නොතකමින් අගමැතිවරයා විසින් න්‍යාය පත්‍රයේ පැවැති අතුරුදහන් වුවන්ගේ කාර්යාල සාමාජිකයන්ට වැටුප් හා දිමනා වැඩි කිරිමේ යෝජනාව ඉදිරිපත් කරද්දි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සභා ගැබ මැදට පැමිනිමත් සමග මේම තත්ත්වය ඇතිවි තිබේ.

කතානායකවරයා සභාව කල් තැබිම නිසා පාර්ලිමේන්තු කටයුතු ඊයේ දිනයේ පැය දෙකහමාරකට සීමා විය. මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව මැද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති සහ සාමාජිකයන්ගේ දිමනා ලබාදීමේ යෝජනාව සහ ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජිවනය සහතික කිරිම සඳහා වූ විශේෂ කාරක සභා යෝජනාවද සම්මත කෙරිණ.

ආණ්ඩුවට එරෙහි ජනරැළිය බියවූ ආණ්ඩුව තහනම් නියෝග ගැනිමට උසාවි යමින් ජනතාව මර්ධනය කිරිමේ උත්සාහයක නිරතවී සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා

අද ඉදලා සතියක් පුද්ගලික බස් රථ ජනතා ගමනාගමනය හා වෙන් කරන ලද විශේෂ ගමනාගමන අවස්ථාවන් අත්හිටුවිමට ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවක් ආණ්ඩුව ගෙන තිබෙනවා. එය අගමැතිතුමා පිළිගන්නවාද… ඒ නියෝගය වහා අත්හිටුවනවාද…. ඒ වගේම සාමකාමීව රැස්වීමේ නිදහස පවා තහනම් කරමින් අප විසින් වෙන් කළ පිට්ටනිවල බලපත්‍ර අවලංගු කරන තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට කියමින් වැලිකඩ පොලිසිය අධිකරණ නියෝග ඉල්ලනවා. කතානායකතුමා පොලිසියට පැමිණිලි කළාද පාර්ලිමේන්තුව පවත්වාගෙන යන්න බෑ කියලා.

කතානායක – බොරු චෝදනා කරන්න එපා… මම එහෙම පැමිණිල්ලක් කරලා නැහැ.

දිනේෂ් ගුණවර්ධන – කතානායක බියවෙලා.

කතානායක – මම බය වෙලා නැහැ ඔබතුමා හැමදාම බොරු චෝදනා කරනවා.

දිනේෂ් ගුණවර්ධන – පාර්ලිමේන්තුව පැමිණිල්ලක් කළේ නැත්නම් ඇයි පොලිසිය උසාවි යන්නේ. බස් නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ගෙන්න යන්නේ. බයේ හැංගිලා.

කතානායක – මම කිසිම ලෙසකින් පොලීසියට පැමිණිල්ලක් කරලා නැහැ. දිනේෂ් මන්ත්‍රීතුමා බොරු ගොත ගොතා මා වෙත චෝදනා එල්ල කරනවා. හැමදාම හැමදෙයක්ම මෙතුමා මගේ ඇගේ දානවා.

අගමැති රනිල් වික්‍රමසිංහ – අපි ප්‍රජාතන්ත්‍රවාදය ලබාදිලා තියෙනවා. උද්ඝෝෂණය කිරිමේ නිදහස ලබාදිලා තියෙනවා. ජනතාව එන්නේ නැති නිසා විපක්ෂය බයවෙලා අපේ ඇගට චෝදනාව දාන්න හදනවා.

දිනේෂ් ගුණවර්ධන – අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න. පිට්ටනි දෙන්න බලපත්‍ර අහිමි කළාද

අගමැති – ප්‍රවාහන අධිකාරිය තියෙන්නේ පළාත් සභා යටතේ. ඇතුලේ ප්‍රශ්න තිබෙනවා නම් මම මොනවා කරන්නද

බන්දුල ගුණවර්ධන – පොලිස්පතිතුමා කියනවා අවම බලය නොවෙයි අවශ්‍ය බලය පාවිච්චි කරනවා කියලා. එයා මොකක්ද මේ කරන්න හදන්නේ.

සභානායක – ඒකාබද්ධය ලැහැස්ති වෙන්නේ බිලි පුජාවකට.

නිතිය හා සාමය ඇමති රංජිත් මද්දුමබණ්ඩාර – අපි කිසිම උසාවියකින් නියෝග අරගෙන නැහැ උද්ඝෝෂණ නතර කරන්න. අපි ඉඩ දෙනවා උද්ඝෝෂනවලට… හැබැයි වැදගත් විදියට හැසිරෙන්න. ඔබලා බලාපොරොත්තු වෙන්නේ කියලා ගස්සවා ගන්න. බය වෙන්න එපා අපි ගහන්නේ නැහැ.

කුමාර වෙල්ගම – උද්ඝෝෂණවලට බිය වෙලා කලූතර උතුර අපේ පොස්ටර් අලවපු ළමයින් අත්අඩංගුවට ගත්තා පරිසරය දුෂණය කරනවා කියලා.

නාමල් රාජපක්ෂ – දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇසු ප්‍රශ්නයට අගමැතිතුමා සහ විෂයභාර ඇමතිතුමා හරියට උත්තර දුන්නේ නැහැ. පාර්ලිමෙන්තුව නොමග යවන්න එපා.

අගමැති – මම නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට සුබ පතනවා. එයා නැගිටලා පෙන්වනවා එයා තමයි මෙතන නායකයා කියලා.

නාමල් රාජපක්ෂ – අගමැතිතුමා හිතේ තියෙන දේ කිව්වාට මට කමක් නැහැ. අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න.

හරින් ප්‍රනාන්දු -කොළඹට එන තැනක් තවම කිව්වේ නැහැ. සාමකාමිව උද්ඝෝෂණය කරනවා නම් මම බත් පැකට් දාහක් දෙනවා.

ශෙහාන් සේමසිංහ – රංජිත් මද්දුමබණ්ඩාර ඇමතිතුමා පාර්ලිමේන්තුව නොමඟ යවනවා. පොලිසිය උසාවි ගිහිල්ලා තහනම් නියෝග ඉල්ලා තියෙනවා.

ඇමති මද්දුම බණ්ඩාර – පොලිසිය කිසිම තහනම් නියෝගයක් අරගෙන නැහැ. උසාවියෙන් නියෝගයක් ඉල්ලාත් නැහැ. තොරතුරු ලැබුනා බැසිල්ට සහ දිනේෂ්ට විරුද්ධව නාමල්ව නයකයා කරනවා කියලා.

චමින්ද විජේසිරි – මේ රැළිය තුළ අභ්‍යන්තර ගැටුමක් ඇති කරලා අහිංසක ජනතාව ඝතානය කරන්න හදනවා. කණ්ඩායම දෙකට බෙදිලා.

මහින්දානන්ද අලූත්ගමගේ – මම උදේ හිටියේ අලූත්කඩේ උසාවියේ. වැලිකඩ පොලිසිය ඇවිත් තහනම් නියෝගයක් ඉල්ලූවා. උසාවිය එය ප්‍රතික්ෂේප කළා.

ඇමති මද්දුමබණ්ඩාර  – මම වගකීමෙන් කියනවා කිසිම උසාවි නියෝගයක් ඉල්ලා නැහැ.

නලින් බණ්ඩාර – අනිද්දා ආණ්ඩුවක් හදනවාද කවුද අගමැති… කවුද ඇමතිවරු… අගමැති නාමල්ද….

නාමල් රාජපක්ෂ – මේ දැන් මගේ ෆෝන් එකට එස්.එම්.එස් එකක් ආවා… පොලිසිය ඉල්ලූ තහනම් නියෝගය උසාවිය ප්‍රතික්ෂේප කලා කියලා.

ඇමති මද්දුමබණ්ඩාර  – අපි උද්ඝෝෂණය නවත්වන්න කියලා නියෝග ඉල්ලා නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බාධාවකින් තොරව වැඩකරගෙන යන්න අවස්ථාව ලබා දෙන ලෙස පොලිසියට දැනුම් දුන්නා.