දේශිය ආදායම් පනතෙන් ආණ්ඩුව කලාකරුවාට දුන්නේ හොද කනේ පාරක්…!

0

ආණ්ඩුව මේ වන තෙක් කලාකරුවන්ට ලබා දී ඇත්තේ හුදු ප්‍රකාශ හා පොරොන්දු පමණක් බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසනවා.

ඊයේ (04) පැවති මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළා.

“මේ වනවිට කලා ක්‍ෂේත‍්‍රයේ ගැටලූ ගණනාවක් පැන නැගී තිබෙනවා. ප‍්‍රධාන එකක් තමයි 2017 නොවැම්බර් මාසයේ සම්මත කරපු නව දේශීය අදායම් බදු පනත. එම පනත සම්මත කරනවාට ජවිපෙ ඇතුළු බොහෝ පිරිසක් විරෝධය පළකළා. නමුත් එම විරෝධය නොතකා තමයි ආණ්ඩුව ඒක සම්මත කළේ. එම නව බදු පනත මගින් නිෂ්පාදකවරුන්ට, රංගන ශිල්පීන්ට, සාහිත්‍යකරුවන් ඇතුළු නිර්මාණකරුවන්ට බදු ඉහළ නංවා තිබෙනවා. බදු පනත මගින් කලා හා සංස්කෘතික ක්‍ෂේත‍්‍රයට බරපතල පහරක් එල්ල වෙනවා. අපේ රටේ අති බහුතරයක් කලාකරුවන් නිර්මාණ කටයුතුවල නියැළෙන්නේ ස්වෝත්සාහයෙන් අතින් වියදම් කරගෙන. විශාල ආදායමක් උපයන නිර්මාණ සිදුවෙන්නෙත් නැහැ. මේවා ගැන අපි කරුණු ඉදිරිපත් කළත් ආණ්ඩුවත් විෂය භාර ඇමති මංගල සමරවීරවත් ඒවා සැලකිල්ලට ගත්තේ නැහැ. ජවිපෙ අපිත් විශාල සංශෝධන ප‍්‍රමාණයක් ඉදිරිපත් කළා. නමුත් පිළිගත්තේ නැහැ. පසුව ඇතිවූ විශාල උද්ඝෝෂණ නිසා ආණ්ඩුවට සිදුවුණා මෙම බදු වැරදියි කියලා පිළිගන්න. නමුත් බදු අහෝසි කරන්න නැවත පනත සංශෝධනය කළ යුතුයි. ආණ්ඩුව පනතට සංශෝධන ගෙනා යුතුයි. මේ වනතුරු සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවට ඇවිල්ලා නැහැ. නීතිපතිට යොමුවෙලා නැහැ. ආණ්ඩුව පොරොන්දු වුණාට ප‍්‍රායෝගික මැදිහත්වීමක් කරන්නේ නැහැ. අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ බදු පැනවීම මගින් පීඩනයටත් අසාධාරණයටත් පත්වී සිටින්නන්ට සහන ලබාදීමට කඩිනම් මැදිහත් විය යුතු බවයි.”

“ඒ වගේම අපේ රටේ රංගන ශාලා ආශි‍්‍රතවද බරපතල ගැටලූ ගණානවක් මතුවෙලා තිබෙනවා. මේ වනවිට ජාතික කලා භවන අලූත්වැඩියා කටයුත්තක් සඳහා යැයි පවසමින් වසා දමා තිබෙනවා. නමුත් එය විවෘත කිරීමක් පිළිබඳ කිසිදු අදහසක් නැහැ. අපිට පේන්න තිබෙන දේ තමයි වර්තමාන ආණ්ඩුවේ රනිල් වික‍්‍රමසිංහලා, පාස්කරලිංගම්ලා ව්‍යාපාරික පිරිසක් එකතු කරගෙන ජාතික කලා භවන, ජෝන්ද සිල්වා රඟහල පවතින ප‍්‍රදේශය අපේ රටට නොගැලපෙන ආකාරයේ ඩිස්නිලන්තයක් බවට පත්කරන්න හදනවා කියන එක.”

“අපේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුවට අවුරුද්දටම ප‍්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 1500ක් වෙන් වන්නේ කලාතුරකින්. එහෙම තත්වයක් තිබියදී ජෝන්ද සිල්වා සමරු රඟහලේ දෙවන පියවරේ ඉදිකිරීම් කටයුතු සඳහා මිලියන එක්දාස් දෙසිය ගණනක් ලැබෙන්නේ නැති බව හොඳටම විශ්වාසයි. තරුණ කලාකරුවන්ට නිර්මාණ කටයුත්තක් එළිදක්වන්න ජෝන්ද සිල්වා රඟහලේ අවස්ථාවක් ලැබෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ. ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙන්නේ කොළඹ වටිනා ඉඩම් සංස්කෘතික ආයතන ඉවත් කරලා ව්‍යාපාරිකයින්ට පවරාදීම බව පැහැදිලියි. පහුගිය කාලයේ සෞන්දර්යය විශ්වවිද්‍යාලය ඒ ප‍්‍රදේශයෙන් ඉවත් කරන්නත් විශාල උත්සාහයක් ගත්තා. නමුත් සිසුන්ගේ උද්ඝෝෂන නිසා දැනට එය වළක්වාගෙන තිබෙනවා.” මන්ත්‍රිවරයා පවසා සිටියා.