70ට වඩා 16 ලොකුයි….., 6 ඊටත් වඩා ලොකුයි……! – ජන බලය අමතමින් මහින්ද කියයි

0

විපක්ෂයේ කාර්ය බාරය ලෙස ජනතාව සමඟ එක්ව අද දිනයේ මහ පාරේ සිටින්නේ මෙම ආණ්ඩුව පෙරළා දැමීමට බවත් වත්මන් ආණ්ඩුව පෙරළීමට එක් වෙන ලෙසත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

අද (5) ලිප්ටන් වට රවුමේදි ජන බලය විරෝධතා රැළිය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

“අද ඉතාම සාර්ථක මෙහෙයුමක් ජන බලයක් තමුන්නාන්සේලා යෙදෙව්වා. අද නොනිදියන රැයක්. අපි මුළු රෑම අවදි වෙලා ඉන්න තමයි බලන්නේ. මේ ආණ්ඩුව අද බොහෝම පැහැදිළිවම කරගෙන යන්නේ මොනවාද? බොහෝම පැහැදිළි ලෙස ජනතාව බිල්ලට ගෙන තියෙන්නේ. දුප්පත් මිනිහාගේ ඉදලා ඉහළ බදු ගෙවන ව්‍යාපාරිකයා දක්වා අද රිදිලා තියෙන්නේ. රට බෙදන්න හොර පනත් ගේනවා. ඒ නිසා අද අපිට තියනවා වගකීමක්. අද අපෙන් ප්‍රජාතන්ත්‍රවාදය ගිලිහෙනවා. මැතිවරණ තියන්නේ නෑ.

රට ඒකාධිපතිත්වයට ගමන් කරනවා. අද පළාත් සභා කල් දැමීමට මේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා කියලා මම අමුතුවෙන් තමුන්නාසේලාට කියන්න ඕන නෑ. අද අපිට පාර්ලිමේන්තුව තුළ හඩ නගන්න දෙන්නේ නෑ. 70 ට වඩා 16 හරි ලොකුයි, 6 ලොකුයි. ඒනිසා විපක්ෂයේ කාර්යයභාරය වෙනුවෙන් අපිට කතා කරන්න ඉඩ ලබා නොදෙන නිසා තමයි අද මේ වගේ පාරට බැහැලා, ජනතාවත් එක්ක අද මේ ස්ථානය මේ විදියට පාවිච්චි කරන්නේ කියලා පැහැදිළිවම කියනවා.

අද ජනාධිපති වුනත් යාපනයටගිහිල්ලා මට බනින්න හරි අවස්ථාව ලැබිලා තියෙන්නේ මම එදා ප්‍රභාකරන්ට එරෙහිව යුද්ධය ඉවර කරලා මේ රටට සාමය ගෙනවා නිසා. ජනාධිපතිට විතරක් නෙමෙයි ඔය කොයි කවුරුත් අද බියෙන් සැකෙන් තොරව උතුරට පය ගහන්නේ මම නිසා.

සහෝදරවරුණි මේ ගමනේ පළවෙනි පියවර මේ. මම ස්තුතිවන්ත වෙනවා මේ තරුණ මන්ත්‍රිවරුන්ට, අපේ දේශපාලන නායකයන්ට. වැඩි කල් නොගොස් මේ ආණ්ඩුව පෙරලන්න, තමුන්නාන්සේලාට එක්කාසු වෙන්න කියන ඉල්ලීම මම කරනවා.” හිටපු ජනාධිපතිවරයා මෙහිදි පවසා සිටියා.