5 වෙනිදා 12 වෙනකොට මුළු කොළඹම අකර්මණ්‍ය කළා..ටිකිරි ආතල් ගන්නේ නැතුව බය නැත්නම් මැතිවරණය තියන්න

0

ජනබලය ආසාර්ථක බව පවසන ආන්ඩුවේ කණ්ඩායම් වලට වහාම මැතිවරණයක් පවත්වන ලෙසට අභියෝග කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඊයේ (06) බත්තරමුල්ල, නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් එය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මේ බව පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන,
“යහපාලන ආණ්ඩුවේ සිටින මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ඊයේත්, අදත් ටිකිරි ජොලියක් ගන්නවා. සමහරු අහනවා කෝ සෙනඟ, ලොකුවට කිව්වත් සෙනඟ නැහැ කියලා ගණන් මිමි එක්ක කියනවා අපි දැක්කා. මේ අපහාසය කරන්නේ ඒකාබද්ධ විපක්ෂයට, මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපේ කණ්ඩායමට නෙවෙයි. මේ අපහාසය කරන්නේ මාධ්‍ය ආයතනවලට.”

“මේ උදම් අනන යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු සියලු දෙනාට අපි අභියෝග කරනවා. ඒ තමයි ඊයේ අපේ දැවැන්ත ව්‍යාපාරයට සෙනඟ ආවේ නැත්නම් එය අසාර්ථක නම් ඔබට සුබවාදී නම් වහාම මැතිවරණය පවත්වන්න. හෙට උදේට අපි බලාපොරොත්තු වෙනවා යහපාලන ආණ්ඩුවේ අයගෙන් මේකට පිළිතුරක්. අපි කැමැතියි පළාත් සභා මැතිවරණය පැවැත්වීමට. අපි ලැහැස්තියි ආණ්ඩුවමැතිවරණය පවත්වනවා නම් ඒ අභියෝගය භාරගෙන රටේ ජනතාවත් සමඟ පිළිතුර ලබාදීමට.”

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ,
“ජනබලය කොළඹට’ විරෝධතා ව්‍යාපාරය අති සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට ඊයේ (5දා) අපිට හැකි වුණා. දහවල් 12 වන විට අපි කොළඹ නගරයේ සියලුම කාර්යාල වහන තත්ත්වයකට පත්කළා.”

“කොළඹ පාසල්වල එක දරුවෙක්වත් නැහැ. ගුරුවරු නැහැ. හවස 02 වන විට කොළඹ නගරයේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල අපි ආක්‍රමණය කරලා ඉවරයි. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ඒ අසල කොටුවේ සියලු මාර්ග අපි ආක්‍රමණය කළා. ඊයේ රාත්‍රි 12 වන තෙක් අපි සත්‍යග්‍රහය ගෙන ගියා.”

“මේ විරෝධතා ව්‍යාපාරය නැවැත්වීම සඳහා ආණ්ඩුව කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. අධිකරණයෙන් වාරණ නියෝග 3ක් ගන්න පොලිසිය උත්සාහ කළා. කොළඹ නගරයට එන පාරවල් අහුරලා විරෝධතාව නවත්වන්න සියලු කටයුතු සිදු කළා. එපමණක් නෙවෙයි විහාර මහා දේවි උද්‍යානයට 5,000ක පොලිස් බළඇණියක් ගෙන ආවා. ඒ වගේම කඳුළු ගෑස් 3,000ක් ගෙන ආවා. බස් රථ වැඩිම ප්‍රමාණයක් එන මහනුවර කොළඹ පාරේ මහා කානුවක් හෑරුවා. නිට්ටඹුව- කොළඹ පාරේ. සියලු උත්සාහයන් ආණ්ඩුව යෙදුවා මේ උද්ඝෝෂණය නවත්වන්න. මොනවා කළත් උදේ 10 වන විට කොළඹට හැම පැත්තෙන්ම මහා ජන ගඟක් ගලාගෙන එන බව දුටු විට ආණ්ඩුව පසු බැස්සා.”

“ලංකා ඉතිහාසයේ පැවැත්වූ දැවැන්තම උද්ඝෝෂණය මෙය. පොලිසිය වාර්තා කරනවා බස් රථ 2,400කට වැඩි සංඛ්‍යාවක් ඇවිල්ලා තිබෙන බව. අපේ ලේඛනවලට අනුව බස් රථ 3,200ක් පමණ කොළඹට ඇවිත් තිබෙනවා. ලක්ෂ 2ට වැඩි ජන ගඟක් කොළඹට ගෙන එන්න අපිට හැකි වුණා. මුළු කොළඹම ජනතාවගෙන් පිරිලා ඉතිරිලා තිබෙන හැටි සියලු දෙනා දකින්න ඇති.”