රැක ගන්න ඕන දේශිය කලාකරුවට බදු ගහන ආණ්ඩුවක්….ලොකු රඟහල්වල් හදලා බලාගන්න හමුදාවට දෙනවා!

0

පිටරටින් ආනයනය කරන කලා නිර්මාණ වලට බදු නියම කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටියද රජය දේශිය කලාකරුවන්ට බදු පටවමින් ඔවුන් අධෛර්‍යට පත් කිරීමට කටයුතු කරන බව රංගන ශිල්පි ජගත් මනුවරණ සඳහන් කළා.

පහුගිය දා පැවති සමාජවාදී කලා සංගමය විසින් කැඳවා තිබු මාධ්‍ය සාකච්ඡාව අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

“සිනමා ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් මතුුවෙලා තිබෙන ගැටලූ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න මම කැමතියි. අද තරුණ සිනමාකරුවන් චිත‍්‍රපටයක් හදන්න නිෂ්පාදකවරයෙක් හොයාගන්න ලොකු මහන්සියක් දරනවා. ඒක ලේසි පහසු කටයුත්තක් නොවෙයි. ඉතා අමාරුවෙන් නිෂ්පාදනය කරගන්නා නිර්මාණයක් රිලීස් කරගන්න අවුරුදු ගාණක් බලාගෙන ඉන්න සිදුවෙලා. උදාරහණයක් විදිහට ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වුණු බොරදිය පොකුණ චිත‍්‍රපටය අවුරුදු 10ක් පමණ තිරගත කරගන්න බැරුව පැත්තකට දාලා තිබුණා. ඉන් පසුවත් තිරගත කළේ පෞද්ගලික බෙදාහරින්නකුගේ මැදිහත්වීමෙන්. ආණ්ඩුවේ චිත‍්‍රපට සංස්ථාවෙන් කිසිදු සහයෝගයක් ලැබුණේ නැහැ. නිනෝ ලයිව්, මෝට බයිසිකල් වැනි නිර්මාණවලටත් අත්වෙලා තිබුණේ ඒ ඉරණමම තමයි. අද තරුණ සිනමාකරුවන්ට කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයක් නැහැ. ජාතික චිත‍්‍රපට සංස්ථාව තිබෙන්නේ මොකටද කියලා ප‍්‍රශ්නයක්.”

“2015 ජනවාරි 08න් පසුව හැදුණු ආණ්ඩුවෙන් කලාකරුවන්ට කිව්වා, ආණ්ඩුවට යෝජනා දෙන්න කියලා. චිත‍්‍රපට නිෂ්පාදකවරුන්ගේ සංගමය විශාල අධ්‍යයනයක් කරලා යෝජනා මාලාවක් ආණ්ඩුවට බාරදුන්නා. ස්වාධීන සිනමාකරුවන්ගේ එකමුතුවත් සහයෝගය ලබාදුන්නා. ඉතාම පැහැදිලි යෝජනා ඉදිරිපත් කර තිබියදීත් වර්තමාන ජනාධිපතිවරයා තවත් පිරිසක් එක්කරගෙන වෙනත් යෝජනාවලියක් හදලා චිත‍්‍රපට බෙදාහැරීමේ බලය මුළුමනින්ම චිත‍්‍රපට සංස්ථාවට පවරා ගත්තා. ඒක චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රයේ නිර්මාණකරුවන්ගේ යෝජනාවක් නොවෙයි. එම තීරණය ක්‍ෂේත‍්‍රයට සේවයක් නොවෙයි. මොකද, ජාතික චිත‍්‍රපට සංස්ථාව පහුගිය කාලයේ ලංකාවේ චිත‍්‍රපට ක්‍ෂේත‍්‍රය සම්බන්ධයෙන් කරපු දෙයක් නැහැ.”

“මේ වනවිට තිරගත කරගත නොහැකිව චිත‍්‍රපට විශාල ප‍්‍රමාණයක් හිරවෙලා තිබෙනවා. එසේ තිබියදී යම් යම් දේශපාලන අනුග‍්‍රහය දක්වන චිත‍්‍රපටි පෝලිමෙන් පැනලා තිරගත වෙන්න නියමිතයි. තරුණ සිනමාකරුවන් තමන්ට දිනයක් ලැබෙන තුරු බලාගෙන ඉන්නවා. මීට පෙර පෞද්ගලික බෙදාහරින්නන් සිටියා. නමුත් දැන් ඉන්නේ චිත‍්‍රපට සංස්ථාව පමණයි. චිත‍්‍රපට නිෂ්පාදකයා තමන්ගේ වියදම පියවා ගන්න බලාගෙන ඉන්නවා. ඔවුන්ට ඒ දේ කරගන්න බැරිනම් නැවත නිර්මාණයකට යොමුවෙන්න හැකියාවක් නැහැ.”

“ඒ වගේම අද සිනමා ශාලාවල ගැටලූ ගණනාවක් මතුවෙලා තිබෙනවා. ඒ වගේම පිටරටවලින් ආනයනය කරන චිත‍්‍රපට සම්බන්ධයෙන් ප‍්‍රශ්න තිබෙනවා. ආණ්ඩුව කලාකරුවන්ගේ ප‍්‍රශ්නවලට ඇහුම්කන් දෙන බවක් පෙන්වනවා. නමුත් යෝජනා කි‍්‍රයාත්මක කරන්නේ නැහැ. ටෙලිනාට්‍ය ශිල්පීන් යෝජනා කළේ ආනයනය කරන ටෙලිනාට්‍ය සඳහා බදු පනවන්න කියලයි. නමුත් ආණ්ඩුව කළේ දේශීය නිර්මාණකරුවන්ට බදු පනැවීමයි. අධෛර්යට පත්කළ යුත්තේ ටෙලිනාට්‍ය ආනයනය කිරීමයි. නමුත් ආණ්ඩුව අධෛර්යට පත්කළේ දේශීය නිර්මාණකරුවනුයි. මීට පෙර චිත‍්‍රපටකරුවෙකුට බදු නිදහසක් ලබාදී තිබුණා. නමුත් ආණ්ඩුව දැන් එය සම්පූර්ණයෙන් ඉවත් කරලා.”

“පහුගිය කාලයේ රජය සතු රංගන ශාලා අලූත්වැඩියා කරන්න පටන් ගත්තා. විශේෂයෙන් පහුගිය පාලනය කටයුතු කළේ ‘පිස්සු ළිඳේ වතුර බීපු පිරිසක්’ වගේ. හොඳම උදාහරණය තමයි නෙළුම් පොකුණ. නෙළුම් පොකුණ ඉදිකිරීමේදී අඩුපාඩු රැුසක් සිදුවෙලා තිබෙනවා. රුසියානු බැලේවලට ගැලපෙන ලෙස තමයි එම රංග ශාලාව හදලා තිබෙන්නේ. පේ‍්‍රක්ෂකාගාරයේ ඇතැම් සීට්වලට වේදිකාව පෙන්්නේ නැහැ. සපත්තු දාගෙන වේදිකාවට නගින්න බැහැ. ලංකාවට ගැලපෙන රංගන ශාලාවක් නොවේ. සාමාන්‍යයෙන් ඒක නඩත්තු කරගන්න බැරි තරමේ ශාලාවක්. අද එය නඩත්තු කරන්නේ හමුදාවෙන් දාලා. රටක් වුණාම තමන්ගේ රටට ගැලපෙන විදියේ ඉදිකිරීම් කරන්න ඕනෑ. අද ජෝන්ද සිල්වා සමරු රඟහලත් අලූතින් ඉදි කරනවා. අනුරාධපුරයේ රංගන ශාලාවක් හදන්න පටන් අරගෙන. ඒත් මෙම රංගන ශාලා කලාකරුවන්ට ප‍්‍රයෝජනයක් ගන්න පුළුවන් විදිහට ඉදිවෙන්නේ නැති එක ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා. කලාකරුවන් විදිහට අපි මේ අඩුපාඩු අවස්ථා ගණනාවකදීම පෙන්වලා දීලා තිබෙනවා. නමුත් ආණ්ඩුව තමන්ට ඕනෑ දේ කරනවා. මේ ඉදිකිරීම් දැක්කාම අපිට හිතෙන්නේ මේවා ඉදි කරන්න් වේදිකාවක ජහුටා එකක්වත් බලපු නැති අය බවයි. සාමාන්‍යයෙන් මෙවැනි රංගන ශාලා හදන්නේ මහළු අයට, ආබාධිත අයට රෝද පුටුවකින් ඇතුල් වෙන්න පුළුවන් පිවිසුම් සහිතවයි. නමුත් ජෝන්ද සිලාව එකේ එවැනි පහසුකමක් නැහැ. ඒ වගේම ඩෙ‍්‍රසින් රූම්වල ප‍්‍රමිතියක් නැහැ. ඒ සියල්ල අමතක කරලා තමයි ඉදිකිරීම් සිදුකරමින් තිබෙන්නේ.”