නානුඔය දුම්රිය විවේක කාමර කුණු කොල්ලෙට කලු ගල් මුදලාලිට…..!

0

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සදවා ඇති නානුඔය දුම්රිය ස්ථානය අසල ඉදිකර ඇති විවේක කාමර ගොඩනැගිල්ල නිසි අවසරයකින් තොරව, දුම්රිය දෙපාර්තමේන්තුවට කළුගල් සපයන කොන්ත‍්‍රාත්කරුවෙකුට මුදල් ඉපැයීමට බදු දී ඇති බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය චෝදනා කරනවා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ බලධාරීන් වෙත ලිපියක් යොමුකරමින් එම වෘත්තිය සමිතිය මේ බව පවසා සිටියා.

2018. 09. 10

ලේකම්,
ජී.එස්.විතානගේ මැති තුමා,
දුම්රිය සාමාන්‍යාධිකාරී,
එම්.ජේ.ඩිලන්ත මැති තුමා,

අනවසරයෙන් පවත්වාගෙන යන නානුඔය විවේක කාමර කුලියට දීම අත්හිටුවා වහාම පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලීම

දුම්රිය දොර්තමේන්තුවේ විශාල මුදලක් වැයකර නානුඔය දුම්රිය ස්ථානය අසල ඉදිකර ඇති විවේක කාමර ගොඩනැගිල්ල නිසි අවසරයකින් තොරව, දුම්රිය දෙපාර්තමේන්තුවට කළුගල් සපයන කොන්ත‍්‍රාත් කරුවෙකුට මුදල් ඉපයීම සඳහා ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

මෙම ගොඩනැගිල්ලේ සියළු පහසුකම් වලින් සම්පූර්ණ කාමර 12 ක් ඇත. දිවාරාතී‍්‍ර වශයෙන් එක දිනකට එක් කාමරයකින් රුපියල් 5000/=  6000/= ක මුදලක් උපයන අනවසර බදුකරු, දෙපාර්තමේන්තුවට කිසිදු මුදලක් මේ වන විට ගෙවා නොමැති බවද දැනගැනීමට ඇත.

දෙපාර්තමේන්තුව මගින් මෙම කාමර කුලියට දෙන්නේ නම් මසකට රුපියල් ලක්‍ෂ දහඅටකට (1,800,000/= අධික මුදලක් ලබාගැනිමට හැකි බවත් කොන්ත‍්‍රාත්කාර ජාවාරම් කාරයින්ට නීති විරෝධි ලෙස මෙම කාමර පැවරීම නිසා දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ගයක් අහිමිකර ඇති බවත් පෙන්වා දෙමු.

කෙසේ වෙතත් විධිමත් ක‍්‍රමවේදයකට බදු දුන්නේ නම් ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්‍ෂක කාර්යභාර නිලධාරී ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බවත් සිදුකරගෙන යන ජාවාරම පිළිබඳව කිසිදු නිලධාරියෙක් නොදන්නා බවත් අනාවරණය වී ඇත.

මෙම කොන්ත‍්‍රාත්කාර ජාවාරම් කරු විසින් දුම්රිය කාර්ය මණ්ඩලයේ රාජකාරී වලට බාධා වන අයුරින් අනවසර ඉදිකිරීම් කරමින් මෙම භූමියේ අයිතිය ද තහවුරු කිරීමට කටයුතු කර ඇත. එසේම ඇතැම් දුම්රිය නිලධාරීන් සඳහා විශේෂ සාදයක් ද පසුගියදා මෙම ජාවාරම්කරු විසින් පවත්වා ඇති බවද අනාවරණය වී ඇත. මෙම විවේක කාමර ජාවාරම පිළිබඳව ලද පැමිණිල්ලකට අනුව එය පරීක්‍ෂා කිරීමට ගිය දුම්රිය නිලධාරීන්ගේ රාජකාරියට බාදා කරමින් තර්ජනය කර එම නිලධාරීන්ට පහරදීමට ජාවාරම් කරුගේ ගෝලයන් ප‍්‍රයත්න දරා ඇති බවද වාර්තා වේ.

මේ පිළිබඳ අවධානය යොමුකර, වහාම මෙම ගොඩනැගිල්ල දෙපාර්තමේන්තුවට පවරාගෙන ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති මගින් කාමර වෙන් කිරීමේ කටයුතු කරන ලෙසත්, මෙම කොන්ත‍්‍රාත්කාර ජාවාරම් කරුවන්ට මෙම ගොඩනැගිල්ල විධිමත් කි‍්‍රයා පිළිවෙතකින් තොරව ලබාදී ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූල කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිිටිමු.

ස්තූතියි.
මෙයට,
දුම්රිය සේවයේ උන්නතිය වෙනුවෙන්,
එස්.පී.විතානගේ
සමකැඳවුම්කරු   

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here