පොදු ජනතාව ගැන හිතන මහින්ද රාජපක්ෂට දැන් අගමැති වෙන්න කාලය එළැඹිලා…..!

0

මහින්ද රාජපක්ෂ මහතාට රටේත්, පොදු ජනතාවගේත් නායකයා ලෙස අගමැති තනතුර භාර ගැනීම සඳහා කාලය එළැඹ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානයක්කාර පවසනවා.

“ජනබලය කොළඹට, කොළඹින් බලයට” යන තේමාව යටතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය හා ක්‍රියාකාරිත්වය පිළිබඳව අබමල් රේණුවක හෝ තැකීමක් ඇති කිසිවකුට තවදුරටත් හවුල් ආණ්ඩුවක් ගෙන යාමට නොහැකි බවයි.

එම නිවේදනය,

යූ.ඇන්.පී. ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය බිඳ දැමීම එල්ල කරගත් ජනබල මෙහෙයුම් විරෝධතා ක්‍රියාකාරිත්වය, සතර දිගින් කොළඹට ඇදුණු මහා ජන සාගරයක් ලෙස අතිමහත් සාර්ථකත්වයට පත් විය.

ආණ්ඩුවේ ගොරෝසුකම් පරාජය කරමින්, ඒකාබද්ධ විපක්ෂය නායකත්වය ඉතා විශිෂ්ට ලෙස ජනතා සාගරයක් කැඳවීමත්, ඔවුන් සියලු දෙනා විනය ගතව හසුරුවා ගනිමින් විරෝධතාවට යොමු කිරීමත්, ආණ්ඩුවේ කුපිත කිරීම් නොතකා ගැටුම් විරහිතව, කොළඹ නගරය අත්පත් කරගෙන වාඩිලා සිටීමෙන් පසු, ආපසු තම ගම්බිම් බලා ඔවුන් පිටත් කරවීමට හැකිවීමත් ගොඩනැඟෙන ජනතා ව්‍යාපාරයේ නව ලක්ෂණයක් වේ.

එසේම රැයක් පහන් වන තුරු ප්‍රාසාංගික ක්‍රියාකාරිත්වයෙන් රසගැන්වුණු නවමු අත්දැකීමක් විරෝධතා සටනට එක් කරමින් කලා ශිල්පීහු සියලු දෙනා දේශපාලන හැඟීමෙන් පින වූහ.

ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවට එල්ල කළ අභියෝගය හමුවේ පාලකයන්ගේ පසුබැසීම මැනවින් දැකිය හැකි විය. වෙළෙඳ ප්‍රජාව සහ රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ද සිය සේවා ස්ථාන හිස් කරමින් මහමඟට පැමිණියහ. මෙදින සාමාන්‍ය සේවක පැමිණීමද අවම මට්ටමකින් සිදු විය. පොලිස් ප්‍රකාශකයා කියන පරිදිම රජය ජල ප්‍රහාරයත්, බැටන් බලයත් සහිත පොලිසිය තම ප්‍රධාන මධ්‍යස්ථාන රැක ගැනීමට සීමා කර ගති. සවස 2.00 පමණ වන විට සේවා ස්ථානයන්ගෙන් බැහැර වී බොහෝ සේවකයන්ද විරා්ධතාවට එක්වීම පෙන්නුම් කරන්නේ ආණ්ඩු විරෝධයේ කැකෑරෙමින් පවතින ස්වරූපයයි. ඒකාබද්ධ විපක්ෂය මෙනයින් සෙසු සියලු දෙනාටම වරුවක නිවාඩුවක් ලබා දුනි.

එක් රැයක හෝ දින කිහිපයක විරෝධතාවකින් යූ.එන්.පී. ආණ්ඩුව අවසන් කළ හැක්කේ මහ වැඩ වර්ජනයක් මැදි කරගත් හර්තාල් සත්‍යග්‍රහ ක්‍රියාකාරිත්වයක් මුළු රටපුරා පැවැත්වීමෙනි. මෙදින සිදු වූයේ එවැනි ක්‍රියාකාරිත්වයකට පෙරහුරුවක් වූ ජනතාව පෙරටු කරගත් කොළඹ නගරය වසා ගැනීමේ ජනබල මෙහෙයුමකි. එබැවින් ඉතා කඩිනමින් වැඩ කරන ජනතා ව්‍යාපාරය අවදි කර ගනිමින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධීව මැතිවරණ නොපවත්වා සිටීමට සූදානම් වුවහොත් මහ වැඩ වර්ජනයක් සහිත හර්තාල් සත්‍යග්‍රහ කැඳවුරකට ජනතාව සූදානම් කිරීම උදෙසා ඒකාබද්ධ විපක්ෂය සමඟ පෙළගැසී සිටින වෘත්තීය සමිති හා වැඩබිම් නායකයන් එක්වූ සමුළුවක් ඔස්සේ ඉදිරියට යා යුතුය.

Vasudeva Nanayakkara