මේ තරම් රටට අහිතකර ගිවිසුමක් ගැන ජනාධිපතිවරයා දන්නේ නැද්ද?

0

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඉතාම නින්දිත ලියවිල්ලක් බව වරලත් වාස්තු විද්‍යාඥ, නාලක ජයවීර පවසනවා.සිංගප්පූරු වෙළඳ ගිවිසුම සහ ආර්ථිකයේ හෙට දවස සම්මන්ත‍්‍රණය ජාතික විද්වත් සංවිධානය අමතමින් නාලක ජයවීර සදහන් කළේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ජනතාවගේ ඇස්වලට වැලිගහමින් සිටින බවයි.

සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීම සඳහා මැදිහත් වුණු අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජේවර්ධන, ප‍්‍රධාන සාකච්ඡුාකරු කේ.ජේ. වීරසිංහ, රජයේ නීතිඥ නිර්මලන් විග්නේෂ්වරන් සහ මුදල් අමාත්‍ය උපදේශකයන් ඇතුළු නිලධාරීන්ට එරෙහිව ජනාධිපතිවරයාට ක්‍රියාමාර්ගයක් ගත හැකියි. මොකද මෙම නිලධාරීන් විධායකය නොමග යවනවා නම් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව විධායකයට තිබිය යුතුයි. පලතුරු ගොවියන්, එළවළු ගොවියන් බේරාගන්නවා කියමින් ප‍්‍රකාශ නිකුත් කරන ජනාධිපතිතුමා පුන්නක්කු පවා වාණිජ ලිහිල්කරණයට ලක්කරන මෙම ගිවිසුම ගැන මොනවත් දන්නේ නැද්ද? භාණ්ඩ 7100ක් මෙම ගිවිසුම මගින් ආර්ථික ලිහිල්කරණයට ලක්වෙනවා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරන ඒකාබද්ධ කමිටුවක් තිබෙනවා. එම කමිටුවට කාටවත් බලපෑම් කරන්න බැහැ. එම නිසා මෙම කමිටුව පාවිච්චි කරලා මහ බැංකු මංකොල්ලය වැනි හොරකම් කරන්න පුළුවන්කම ලැබෙනවා.

මේ ආණ්ඩුව 2017 අගෝස්තු 01වැනි දා නව වෙළඳ ප‍්‍රතිපත්තයක් කියල එකක් රටට හඳුන්වල දුන්නා. ඒකෙ පූර්විකාවේ තිබෙනවා ලංකාවේ ඉන්න ව්‍යාපාරිකයෝ නින්දිතයි, පාරිභෝගිකයින් ගැන හිතන්නේ නැහැ. පාරිභෝගිකයින් සූරාකනවා. ඒ නිසා විදේශීය ව්‍යාපාරිකයන්ට අපේ රටේ තරග කරන්න අවස්ථාවක් උදාකළ යුතුයි කියලා. ඒ අනුව තමයි මේ ගිවිසුම එන්නේ. නමුත් අගමැතිතුමාගේ එන්ටප‍්‍රයිස් ශ්‍රි ලංකා හෝ ජනාධිපතිතුමා යෝජනා කරන ගොවීන් ආරක්ෂා කරන ක්‍රියාවලියට සිංගප්පූරු-ශ්‍රි ලංකා ගිවිසුම සම්පූර්ණයෙන් පටහැණියි.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සිදුකරමින් ඉන්නේ ජනතාවගේ ඇස්වලට වැලිගහන එකයි. මේ වෙළඳ ගිවිසුම ඉතාම නින්දිත ලියවිල්ලක්. එනිසා මේ පිළිබඳව රටට හෙළිදරව් කළ යුතුයි. මම තොරතුරු දැනගැනීමේ පනත අනුව මෙම ගිවිසුමේ පිටපතක් ලබාගත්තා. මෙම ගිවිසුම සම්බන්ධයෙන් වගකිවය යුතු කිසිවෙක් විවාදයට එන්නේ නැහැ. මහබැංකුවේ අධිපතිවරයා ඇතුළු සියලූම දෙනා පාළුගෙයි වළං බිඳිනවා. මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයේවත් පාර්ලිමේන්තුවේවත් අනුමැතිය නැති ගිවිසුමක්.

මෙම ගිවිසුම අනුව පුහුණු-නුපුහුණු සියලූම ආකාරයේ ශ‍්‍රමිකයින් ගෙන්වීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව ආගමන විගමන රෙගුලාසි වෙනස් කරනවා. ඒ නිසාම දැන් සිංගප්පූරු ගිවිසුම අනුව ඕනෑම ශ‍්‍රමිකයෙකුට අපේ රටට ඇතුල් වෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒවගේම ගිිවිසුම අනුව භාණ්ඩ ගණනාවක බදු ඉවත් කරනවා. ගොඩනැගිලි කොන්ත‍්‍රාත් ක්ෂේත‍්‍රයන් මෙම වාණිජ ලිහිල්කරණයට ඇතුළත් වෙනවා. අපේ රටේ තනි තට්ටුවේ ගෙවල් පවා ඉදිකරන්න විදේශීය කොන්ත‍්‍රාත් සමාගම්වලට අවස්ථාව හදල දෙනවා. අපේ රටේ නීතිය ගැන අවබෝධයක් නැති නිලධාරීන් පිරිසක් තමයි මේ රට විනාශ කරන්නේ. මලික් සමරවික‍්‍රම ඇමතිවරයා මේ ගිවිසුමේ කොළ දෙකක්වත් කියවලා තියෙනවාද කියලා විශ්වාස කරන්න බැහැ. එමනිසා මෙවැනි ගිවිසුම්වලට එරෙහිව සමාජයේ බලපෑම් කණ්ඩායමක් ගොඩනඟන්න ඕනෑ.

උදාහරණයක් විදිහට ගත්තොත් ඕස්ටේ‍්‍රලියාවේ මෙවැනි වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ජනතාවගේ අදහස් ලබාගන්නවා. ඒවගේම පාර්ලිමේන්තුවේ අඩුම තරමේ දින 20ක් ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡුාවට බඳුන් විය යුතුයි. ඉන් අනතුරුව තමයි ගිවිසුම අත්සන් කළ යුතු වන්නේ. මේ ආකාරයට බොහෝ රටවල්වලට ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව නීති සකස් කරලා තිබෙනවා. නමුත් අපේ රටේ නීති ගැන ඉතාම කනගාටුයි. එනිසා අපේ රටේ ජනතාව සියලූම දේවල් දේශපාලනඥයන්ට කරන්න ඉඩදීලා බලාගෙන ඉන්නවා. ඒ වෙනුවට ජනතාව මෙවැනි කරුණු සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතුයි.