මේ හදන්නේ ජනපති – අගමැති කොටවන්න … අලුත් අගමැතිවරයෙක් යටතේ 30කින් යුත් කැබිනට්ටුවක්!

0

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලැස්මක් පවතින බවට චෝදනා එල්ල කරමින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා අතර ගැටුමක් පවතින බව ඇගවීම සදහා ඒකාබද්ධ විපක්ෂයට පක්ෂපාතී මාධ්‍ය බලවත් උත්සාහයක නිරතවන බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

තමා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට එල්ලවී ඇති චෝදනා පිළිබද විමර්ශන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවරන බව ජනාධිපතිවරයා පසුගිය (14) මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අවස්ථාවේදී ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය දැනටමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන බවද අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියා.

“ජනාධිපතිතුමා හා අගමැතිතුමා අතර ප්‍රශ්න ඇති කරලා ඒ තුලින් කවුරුහරි වාසියක් ගන්න බලාගෙන ඉන්නවා නම් මම හිතන්නේ ඒක බොහෝම ළදරු ක්‍රියාවක්. මොකද මේ දෙන්නාම බොහෝම පරිණත දේශපාඥයින් නේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අපි දේශපාලනය උගන්වන්න යන්න ඕනැත් නෑ, ඒ වගේම දේශපාලනය පදනම් කරගෙන තමන් කොටවන තමන් අතර අභ්‍යන්තර ගැටළු හදන්න යන්නේ කවුද කියලත් එතුමා හොදින්ම දන්නවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේත් ඉතාම පරණ දේශපාලඥයෙක්.”

මේ අතර නියෝජ්‍ය පොලිස්පතිවරුන් ජනපති ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ බවට හෙළිදරව් වී ඇති තත්ත්වයක් මත එක්සත් ජනතා නිදහස් සන්ධානයට තවදුරටත් ආණ්ඩුව තුළ රැදී සිටීමේ හැකියාවක් නැති බවත් එජනිසය රජයෙන් ඉවත් වන්නේ නම් කැබිනට් මණ්ඩලයම අහෝසි වන බවත් හිටපු ඇමති ඩිලාන් පෙරේරා පවසයි.

එවැනි තත්ත්වයකදි අලුත් අගමැතිවරයෙක් යටතේ 30කින් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපතිවරයාට 19 වන සංශෝධනයෙන් බලතල ලැබී ඇති බවද ඩිලාන් පෙරේරා මන්ත්‍රිවරයා පවසා සිටියා.