ඩොලර් අර්බුදයට සාර්ථකව මුහුණ දෙනවා…

0

පසුගිය වසර කිහිපය තුල ආණ්ඩුව අර්බූද ගණනාවකට මුහුණදී ඉදිරියට පැමිණියා සේ ඩොලරයේ අගය ඉහල යාමෙන් උද්ගතව තිබෙන අර්බුදයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය (22) නාත්තන්ඩියේදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙම අදහස් පළ කලේ 22 වනදා නාත්තන්ඩිය ලුර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ඩොලරයේ අගය ඉහල යාම රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් බලපා තිබෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳව දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ 

නාත්තන්ඩිය ලූර්දු මහා විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය විවෘත කිරීමට මෙහි පැමිණෙන ලෙසට මට ආරාධනා කිරීම පිළිබදවත් මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට කටයුතු කළ සියලූ දෙනාටත් මගේ ස්තුතිය පළ කර සිටිනවා.

එදා කතෝලික සභාව විසින් අධ්‍යාපනය භාරගත් ඉතා පැරණිම පාසලක් ලෙස මෙම පාසල හැදින්විය හැකියි. අද සමාජයේ විවිධ තනතුරුවල සිටින බොහෝ දෙනෙක් මේ පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. පසුගිය වසර තුන තුලදී අපේ ආණ්ඩුව මෙම පාසල දියුණු කිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා. ඒ නිසාම අද මට මේ විද්‍යාලයට පැමිණීමට අවස්ථාව ලැබුණා.

රජයට අමතරව පාසල් දියුණු කිරීම සඳහා කතෝලික පියතුමන්ලාගේ ද සහයෝගය නොඅඩුව ලැබෙනවා. තව දුරටත් අපෙන් ඉටුවිය යුතු යමක් තිබෙනවා නම් ඒ අවශ්‍ය කටයුතු ලබා දීමට අප සූදානමින් සිටින බව සිහිපත් කළ යුතුයි.

මේ ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන දරුවන් මුහුණදී තිබෙන ගැටළු සම්බන්ධව මට ඉහතදී අදහස් දැක්වූ කථික මහත්වරු ප්‍රකාශ කළා. ඒ ගැටළුවලට ද විසදුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව අධ්‍යාපන ඇමතිතුමා සමඟ ද අප සාකච්ඡා කර ඊට අදාල පියවර ගන්නා බව කියන්න කැමතියි.

අපේ සම්පත වන්නේ මිනිස් සම්පතයි. ඒ මිනිස් සම්පත ගොඩනැගීමට නම් අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඒ සඳහා වැඩිපුර මුදල් වෙන් කරමින් රජය පුළුල් වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා.

මුල්ම කාලයේ පාසල්වල දක්නට ලැබුණේ ගල්ලෑලි. අපේ යුගය වන විට එය කොපි පොතයි පෑනයි බවට පත්වුණා. නමුත් අද පාසලට පරිගණකය පැමිණ තිබෙනවා. මේ වෙනස අප හඳුනාගෙන අධ්‍යාපන සැලසුම් සකස් කළ යුතුයි.

කොපමණ ආර්ථික දුෂ්කරතා පැමිණියත් නව ලෝකයත් සමඟ අපේ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අපි වැඩිකර තිබෙනවා. එපමණක් නොවෙයි. ගම් දියුණු කිරීමට අවශ්‍ය ගම්පෙරළිය මෙන්ම ග්‍රාම ශක්ති, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි වැඩසටහන් රැසක් මේ වන විට අප ආරම්භ කර තිබෙනවා.

දළ දේශීය නිෂ්පාදනයේ සියයට 6ක් පමණ වන තෙක් අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම අපේ බලාපොරොත්තුව වී තිබෙන බව කිව යුතුයි.  උද්ගතව තිබෙන ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද අපේ ඒ ඉලක්ක කරා ගමන් කළ යුතුයි.

අද ගෝලීය ආර්ථික අර්බූදයක් තිබුණත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩු කර හෝ එවැනි අඩුකිරීමක් කරන්න හෝ අපේ බලාපොරොත්තුවක් නැහැ.

ගෝලීය ආර්ථික අර්බූදය ගැන අද බොහෝ දෙනෙක් කතා කරනවා. මේ ගැන අපේ අවධානය යොමු කර තිබෙනවා. මේ අර්බූදය ඇතිවුණේ කෙසේද කියා අප බැලිය යුතුයි. 2008 වසරේ දී ඇමරිකානු ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. ඩොලරයේ වටිනාකම අඩු වුණා. ඒ නිසා ඇමරිකානු කොටස් වෙළඳපොළ ආයෝජකයින් සහ අනෙකුත් ආයෝජකයින් වැඩි ප්‍රතිලාභ අපේක්ෂාවෙන් එම මුදල් තමන්ගේ රටවලට ගෙන ගියා. නමුත් දැන් එය වෙනස් තත්වයකට පත්ව තිබෙනවා.

වර්තමානය වන විට ඇමරිකාවේ කර්මාන්ත නිෂ්පාදන භාණ්ඩ වැඩිවී සීග්‍ර දියුණුවක් ඇතිවී තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමා ජනතාවට සහන දුන් නිසා වැඩි වැඩියෙන් මුදල් බඩු භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් වැය කරනවා. මේ තත්වය මත එරට සමාගම්වල ලාභය තවත් වැඩි වෙනවා. එපමණක් නොවෙයි. මෙතෙක් කල් ඇමරිකානු මහ බැංකුව අඩු පොලියට තමා මුදල් ලබා ගත්තේ. නමුත් පසුගිය කාලයේ දෙවතාවක් පොළිය වැඩිකර තිබෙනවා.

මෙහි ප්‍රතිඵලය කුමක්ද? ඇමරිකාවේ කොටස් වෙළෙදපොලේ සහ එරට ව්‍යාපාරවල මීට වඩා ලාභ තිබෙන නිසා අපේ රටේ අනෙකුත් රටවල සිටින ව්‍යාපාරිකයින් තමන්ගේ මුදල් දැන් ඇමරිකාවට ගෙන යනවා.

මේ නිසා අපේ රටවල් සෑම එකකම තිබෙන ඩොලර් සංචිත අඩු වෙනවා. ඩොලර් සංචිතය අඩු වුණාම අපේ මුදල්වල අගය බාල්දු වෙනවා. මේ අර්බූදයට අද අපට මුහුණ දීමට සිදුව තිබෙන බව කිව යුතුයි.

මේ තත්වය අපේ රටට පමණක් නොව අනෙකුත් සෑම රටකටම බලපා තිබෙනවා. ඒ අනුව ඉතාලියේ යුරෝ එක 1.3 කින්ද එංගලන්තයේ පවුමක් 1.3කින්ද, ඕස්ට්‍රේලියාවේ ඩොලරය 6.5කින්ද ඉන්දුනිසියාවේ රුපියා 6.8කින්ද කොරියාවේ වොන් එක 4.5කින් ද, පිලිපිනයේ පීසෝ 7.5කින්ද සිංගප්පුරුවේ සහ මැලේසියාව 1.6කින්ද  ඉන්දියාව අපටත් වඩා 11% කින්ද අඩුවී තිබෙනවා. මේ ආකාරයට සෑම රටකම මුදල් අගය අඩුවී තිබෙනවා.

මේ තත්වය මත උද්ගතව ඇති ගෝලීය ආර්ථික අර්බුදයට අපි මුහුණ දිය යුතුයි. එයට අපි සාර්ථකව මුහුණ දෙනවා. එයින් ඈත් වන්නේ හෝ පලා යන්නේ නැහැ.

මේ තත්වය මත ඛනිජ තෙල් මිලදි ගැනීමේදී ඒවායේ මිල වැඩිවෙනවා. මෙලෙස මිල වැඩිවනවා පමණක් නොවෙයි.  ඇමෙරිකාව ඉරාකයට සහ රුසියාවට තහංචි පැනවීම නිසා ඒ රටවලින් තෙල් ගෙන්වීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා. ඒ අනුව ලෝකයේ ඉතිරි තිබෙන තෙල්වලට ඉල්ලූම තවත් වැඩිවෙනවා.

2015දී අපි ආණ්ඩුව භාර ගන්නා විට ඉන්ධන බැරලයක මිල ඩොලර් 45යි. පසුව එය ඩොලර් 80 දක්වා වැඩිවී වර්තමානය වන විට 77.50 දක්වා අඩුවී තිබෙනවා. මේ තත්වය හමුවේ ඉන්ධන මිල තවත් වැඩිවිය හැකියි. ඉන්ධන මිලෙහි බලපෑම නිසා අනෙකුත් භාණ්ඩවල මිල ඉහල ගොස් තිබෙනවා. ඇතැම් භාණ්ඩවල මිල වැඩි නොවුනත් ගමන් ගාස්තු වැඩිවී තිබෙනවා. මේ ගැටළුවට ලොව අනෙකුත් රටවල් සියල්ල මුහුණ පා සිටි නමුත් ඇමෙරිකාවට ඒ ප්‍රශ්නය නැහැ. මේ පසුබිම තුල තමා අද අපට වැඩකටයුතු සිදුකිරීම සිදුව තිබෙන්නේ.

අපේ කොටස් වෙළෙඳ පොලෙන් සහ අනෙක් වෙළෙඳපොළවලින් දැනට ඩොලර් මිලියන 443ක් පිටවී තිබෙනවා. මේ තත්වය හමුවේ අප ගත යුතු පියවර කුමක් ද ? තාවකාලික පියවරක් ලෙස ආජන්ටිනාව, ඉන්දියාව, ඉන්දුනිසියාව, මෙක්සිකෝව තුර්කිය වැනි රටවල් මහ බැංකු පොලිය වැඩිකර තිබෙනවා. නමුත් අපි මහබැංකුවේ පොලිය වැඩිකළොත් ව්‍යාපාරිකයන්ට දෙන පොලිය වැඩිකිරීමට සිදුවෙනවා. මේ අනුව දැන්ම අපි ඒ පියවර ගතයුතුද කියා නැවත අප සිතා බැලිය යුතුව තිබෙනවා.

උද්ගතව තිබෙන තත්වය මත ලංකාවේ රුපියල 9% කින් බාල්දු වී තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී ආනයනය කරන පිරිස් තම බඩු භාණ්ඩ ආනයනය කිරීම සඳහා වැඩිපුර ඩොලර් ඉල්ලා සිටිනවා. අපනයනය කරන අය එකවර තමන්ගේ ඩොලර් ලංකාවට ගෙන එන්නේ නැහැ. ඔවුන් ඒ ඩොලර් ලාභ අපේක්ෂාවෙන් උපරිම කාලයක් පිටරටවල තබාගෙන සිටිනවා. මේ අනුව මෙම ප්‍රශ්නයටත් අපට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මේ සියලූ ප්‍රශ්න මැද තවත් ප්‍රශ්න ගණනාවකට අපට මුහුණදීමට සිදුවේවි.  චීනය, අමෙරිකාව අතරත් කැනඩාව ඇමරිකාව අතරත් මේ වන විට විශාල තීරුබදු යුද්ධයක් ඇතිවී තිබෙනවා. එය කෙසේ අවසන් වෙයිද කියා අපට කියන්න බැහැ. ඇමෙරිකාව චීනයේ භාණ්ඩවලට තීරුබදු පනවනවා. ඒවගේම චීනය ඇමරිකාවේ භාණ්ඩවල තීරුබදු පනවනවා.

මේ තත්ත්වය නිසා ලෝක වෙළෙඳපොලේ බඩු මිල වැඩිවෙනවා. මීට අමතරව ජපානය ඇමරිකාවට විරුද්ධවත්, ඇමරිකාව ජපානයට විරුද්ධවත්, තීරුබදු පනවනවා.  එයිනුත් බඩු මිල වැඩිවෙනවා. මේ අර්බූදයට අද ඇමෙරිකාව හැර අනෙකුත් රටවල් මුහුණ පා සිටිනවා. මේ තත්වය රටේ ආර්ථිකයටත්, ගෙදර ආර්ථිකයටත් ප්‍රශ්නයක් වී තිබෙන බව කිව යුතුයි. මේ පසුබිම තුල ඊට මුහුණ දිය යුතු ආකාරයත්, ජනතාවට සහන දිය යුතු ආකාරයත් කෙරෙහි අපි අවධානය යොමු කර තිබෙනවා.

දැනට උද්ගතව තිබෙන මේ තත්වය තව මාසයක් පමණ පවතිනු ඇතැයි අප විශ්වාස කරනවා. ඊට මුහුණ දීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද කියා අප දැනටමත් සාකච්ඡා කරමින් සිටින බව කිව යුතුයි.

මේ පිළිබඳව මුදල් ඇමතිතුමා සමඟ ද සාකච්ඡා කළා. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟත් සාකච්ඡා කළා. මොකද ලබන වසර වන විට ණය සහ පොලිය ඩොලර් මිලියන 4000ක් ගෙවිය යුතුව තිබෙනවා.

මේ අනුව දෙපැත්තකින් අද අප සිරවී සිටිනවා. කෙසේ වුවත් අපි රටේ ආර්ථිකය කඩා වැටීමට ඉඩ දෙන්නේ නැහැ. මීට වඩා 2012 වසරේදී ඩොලරයේ වටිනාකම 113 සිට 131 දක්වා වැඩිවුණා. ඒ තත්වය හමුවේ ඊට විසදුම් සෙවීමට එදා පාලකයෝ කටයුතු කළේ නැහැ. ඒ නිසා ජනතාවට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීමට සිදුවුණා. නමුත් අපි එලෙස බලා සිටින්නේ නැහැ.

උද්ගතව තිබෙන මේ තත්වය මත වාසියක් මෙන්ම අවාසියක්ද තිබෙනවා. බඩු මිල ඉහල යාම අවාසියක් වුණත් අපනයන වලට වාසියක් තිබෙනවා. එමෙන්ම සංචාරක ව්‍යාපාරයටද මේ තත්වය යටතේ වාසියක් තිබෙනවා.

මේ අනුව අපට ලැබෙන වාසි අවාසි කුමක්ද කියා පුළුල්ව සොයා බලා අප ගත යුතු පියවර කුමක්ද යන්න ඉදිරි කාලයේදී තීරණය කරන බව කිව යුතුයි.

2015 දී මේ ආණ්ඩුව භාර ගන්නා විට අපට මුලින්ම මුහුණ පෑමට සිදුවුණේ රටේ ණය බර ප්‍රශ්නයටයි. ඒ වන විට විශාල ණය කන්දරාවක් ගෙවා දැමීමට තිබුණා. කෙසේ හෝ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ඒ ණය ගෙවා දැමීමට අප පියවර ගත්තා.

දෙවනුව මහා නියඟයක් ඇතුළු ස්වභාවික විපත් කිහිපයකට මුහුණ පෑමට අපට සිදුවුණා.  ඒ නිසාම බඩු මිල ඉහල ගියා. පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වා වැඩිවුණා. නමුත් කෙටි කාලයකින් ඒ මිල පාලනය කර ගැනීමට අපට හැකිවුණා. මේ පසුබිම තුල කෙසේ හෝ මේ කාලයේදී පළාත් පාලන ඡන්දයකට මුහුණ දී ඉන් පරාද වීමට ද අපට සිදුවුණා.

දැන් අපට උද්ගතව තිබෙන්නේ ගෝලීය ආර්ථික අර්බූදයට මුහුණ දීමටයි. එයට අපි සාර්ථකව මුහුණ දෙනවා. එයින් ඈත් වන්නේ හෝ එයින් පලා යන්නේ නැහැ. මේ අභියෝග වලට මුහුණ දී අපි ලංකාව ඉදිරියට ගෙන යා යුතුයි. අපේ රටේ තිබෙන්නේ අපනයන ආර්ථිකයක් නොවේ. අපි ණය ගන්නා ආර්ථිකයක් බව කිව යුතුයි. අද අපි මේ තත්වයට පත්ව තිබෙන්නේ ඒ නිසයි. අපි අපනයන ආර්ථිකයකට යා යුතුයි.

පසුගිය කාලයේ ප්‍රශ්න ගණනාවකට මුහුණ දී ඉදිරියට පැමිණියා සේ උද්ගතව ඇති මේ අර්බූදයටද අප සාර්ථකව මුහුණ දෙනවා.  ඒ අනුව අනාගත දරු පරපුර වෙනුවෙන් රට ඉදිරියට ගෙනයා යුතුයි. හොඳ අධ්‍යාපනයක්, ආර්ථිකයක් අප ගොඩනැගිය යුතුයි. ඒ නිසා සියලූ අභියෝග ජයගෙන රට  ඉදිරියට ගෙනයා යුතුව තිබෙනවා.