ජනපති-ගෝඨා ඝාතන සැළැස්ම ආණ්ඩුවේම වැඩක්….!

0

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ආණ්ඩුවේ ඉහළින්ම ක්‍රියාත්මක වූවක් බවට සැක මතුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි කනක හේරත් පවසනවා.

නෙලුම් මාවතේ පසුගියදා පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේ නැට්ටික්කාර පොලිස්පතිවරයා ඉවත් කොට ඒ වෙනුවට කොන්ද පණ ඇති පොලිස්පතිවරයෙක් පත් කරන ලෙසයි.

“අද ශ්‍රී ලාංකාවේ පොලිසිය විහිළුවකට ලක්වෙලා. නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ජනපති ඝාතන කුමන්ත්‍රණය හෙළි කළ නාමල් කුමාරට ආරක්ෂාවක් නැහැ. පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කරනවා අවශ්‍ය ආරක්ෂාව ඔහුට ලබාදෙන ලෙසට.”

“ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්නට සති දෙකක් ලබාදී තිබියදී අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරනවා. පොලිස්පතිවරයා ආරක්ෂා කිරීම එ.ජා.ප. වුවමනාව බව එමඟින් හෙළිවෙනවා. මේ අතරේ දේශපාලන පළිගැනීම් කියලා පොලිසියේ 50 දෙනකුට උසස්වීම් දීලා. එ.ජා.ප. හිතවාදී පොලිස් නිලධාරීන්ට තරු ඔටුනු පලඳවා මේ සැරසෙන්නේ මොකටද කියලා අපි දන්නවා.”

“උසස් වීම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන්න කියලා අපි ඉල්ලනවා. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්නයිපර් ගන් එකක් නැති වෙලා. නීතිය හා සාමය ඇමැතිවරයාගෙන් මේ ගැන විමසූ විට ඔහු කියනවා පැමිණිල්ලක් කරන්න කියලා. ගෙදරකට හොරු පැන්නම අල්ලපු ගෙදර මනුස්සයාගෙන් පැමිණිල්ලක් ඉල්ලනවා වගේ දෙයක් මෙය. මෙම අවිය අතුරුදන් වීම නිසා ජනාධිපතිවරයාට, ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් නොවෙයි සමස්ත ජනතාවගේම ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා.”

“අද වන විට ඩොලරය 170ට ආසන්නයි. අහිංසක ජනතාවට ජීවත් වෙන්න විදියක් නැහැ. කන්න 04ක් වගා කරලා නැහැ. ගොවි පවුල් මුරුංගා කොළ තම්බලා කාලයි ජීවත් වෙන්නේ. ආණ්ඩුවේ ඇමැතිවරුන් රුපියල අවප්‍රමාණ වීම ගැන විහිළු සපයනවා. ඒක ඉන්දියාව හා සම කරනවා.”

“මහින්ද රාජපක්ෂ යුගයේ යුද්ධය තිබිලත් මේ වගේ තත්ත්වයක් තිබුණේ නැහැ. අද මුළු රටම දරුණු ආර්ථික අර්බුදයකට ලක්වෙලා ආණ්ඩුවට වගේ වගක් නැහැ.”

Kanaka Herath