ඛනිජ තෙල් ඇමැති බෝල ගහන එක ගැන කතා කරනවා……. රුපියලට සාපේක්ෂව ඩොලර් එකේ අගය පිනුම් ගහනවා

0

ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම පිළිබඳව ආණ්ඩුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට හා බැදුම්කරයට වරද පටවමින් සිටිනවා විනා කිසිදු පියවරක් ගැනීමට සූදානම් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පවසනවා.

ඊයේ (27) බද්දේගම පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

“අද හරියටම අබුද්දස්ස කාලේ වගේ ඛනිජ තෙල් මිල බල්ටි ගහනවා. ඛනිජ තෙල් ඇමැති බෝල ගහන එක ගැන කතා කරනවා. රුපියලට සාපේක්ෂව ඩොලර් එකේ අගය පිනුම් ගහනවා. මුදල් ඇමැතිතුමා කාදිනල්තුමා දේශනා කළයුතු ආකාරය ගැන කතා කරනවා. මේ වගේ රටක ඩොලර් එකේ අගය 131 ඉඳලා 170ට නඟින එක පුදුමයක් නෙවෙයි.”

“ඩොලර් එක 131 ඉඳලා 164 දක්වා වැඩි වීම ගැන අද කවුරුත් කතා කරන්නේ නැහැ. ඒක අමතක කරන්න හදනවා. එහෙම වෙලා තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නිසාලු. 131 ඉදලා 164 දක්වා වැඩි වුණේ මහ බැංකු බැඳුම්කරය නිසා. අද සිංගප්පූරුවේ හැංගිලා ඉන්න අර්ජුන මහෙන්ද්‍රන් නිසා කියලා අද කවුරුත් කතා කරන්නේ නැහැ. මේ රටේ වෙනදේ ගැන නෙවෙයි කතා කරන්නේ. වෙච්චදේ ගැන නෙවෙයි කතා කරන්නේ. ප්‍රශ්නයට විසඳුම ගැන නෙවෙයි කතා කරන්නේ.”

“ආර්ථිකය දියුණු කරන්න ඕන නම් අපනයන විවිධාංගීකරණයට ගිහිල්ලා අපනයනය දියුණු කරන්න ඕනා. ඒ ගැන බොරුවට කතා කරනවා විතරයි. අපිත් මේ ආණ්ඩුවේ අවුරුදු දෙකක් හිටියා. අපි කියපු කතා බීරි අලින්ට වීණා වාදනය කළා වගේ තමයි. කිසිදෙයක් ඇහුවේ නැහැ. අර ඛනිජ තෙල් සංස්ථාවේ තියෙන තෙල් ටැංකි සංකීර්ණය දියුණු කරන වැඩපිළිවෙළ සකස් කරලා අවුරුදු හතරකින් ගෙවන්න පුළුවන්. අවුරුද්දකට බිලියන 1,000ක් හොයන්න පුළුවන් ව්‍යාපෘති වාර්තාවක් හැදුවා. ඒක ඉදිරිපත් කළා නම් පක්ෂ භේදයකින් තොරව අනුමත වෙනවා. ඒත් එදා අයකුගේ ඕනකමට ඒක අහෝසි වුණා. අද ඒ තෙල් ටැංකි සංකීර්ණය අපිට අහිමි වෙන විදියට තීන්දු අරගෙන.”  මන්ත්‍රිවරයා පවසා සිටියා.

Chandima Weerakkody