අන්තිම සති දෙකේ මහින්ද, ගෝඨාභය, සරත් රටේ හිටියෙත් නෑ…..යුද්ධය මෙහෙයවූයේ මම!

0

යුද්ධයට මුවා වී සිදුකළ අහිංසක මිනිසුන් ඝාතනය කිරීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරිම සහ පහරදීම, මාධ්‍ය ආයතනවලට ගිණි තැබීම, ක්‍රීඩකයින් ඝාතනය කිරිම මිනිසුන් පැහැරගෙනයාම, රණවිරුවන්ගේ වැඩ නොවන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

බදාදා දින (26) රාත්‍රියේ ඇමරිකාවේ නිවියෝර්ක් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති එරට වෙසෙන ශ්‍රි ලාංකිකාන්ගේ හමුව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ රණ විරුවන් ආරක්ෂා කිරීමට කැප වෙන බවයි.

“යුද්ධය අවසන් සති දෙක තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ, හිටපු යුධ හමුදාපතිවරයා රටේ හිටියෙත් නැහැ. මම වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. අර පිරිස රටේ හිටියේ නැත්තේ කොටි ත්‍රස්තවාදයෙන් කොළඹට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට බුද්ධි අංශ වාර්තා කර තිබු නිසයි. මමත් ආරක්ෂාව සදහා කොළඹ විවිධ ස්ථානවල රැදී සිටිමින් යුද්ධයට අණ දුන්නා. එම නිසා රණවිරුවන් කළ සේවය මම දන්නවා. මම කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට 05 වතාවක් ගොදුරු වූ නායකයෙක්. එම නිසා රට ආරක්ෂා කිරීමටත්, රණවිරුවන් ආරක්ෂා කිරීමටත් මම කැප වෙනවා. නමුත් යුද්ධයට මුවා වෙලා අහිංසක මිනිසුන් ඝාතනය කිරීම වැරදියි. මාධ්‍ය වේදීන් ඝාතනය කිරිම සහ පහරදීම, මාධ්‍ය ආයතනවලට ගිණි තැබීම, ක්‍රීඩකයින් ඝාතනය කිරිම මිනිසුන් පැහැරගෙනයාම, රණවිරුවන්ගේ වැඩ නොවෙයි. රණවිරු නාමයටත් එය කැළලක්. එම අයට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”  ජනාධිපතිවරයා පවසා සිටියා.

Maithripala Sirisena