විධායක ජනාධිපති පුටුවේ රස වැටුණට පස්සේ කාට කාටත් පොරොන්දු අමතකයි!

0

විධායක ජනාධිපතිධූරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණෙන සියළු දෙනාට එහි රස වැටුණු පසු පොරොන්දුව අමතක බව කතාකායක කරු ජයසූරිය පවසනවා.

මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවැනි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කතානායකවරයා අද (28) මෙම තොරතුරු පවසා සිටියා.

“තොරතුරු නිදහස, යහපාලනය, විධායක ජනාධිපති ධුරය, බලය අවභාවිත කිරීම, දූෂිත පාලනය යන සටන් පාඨ අද ඊයේ ඇති වූ ඒවා නෙමෙයි. ඒවා බොහෝ කාලයක් තිස්සේ ඉදිරිපත් වූ යෝජනා සහ පොරොන්දු. තොරතුරු දැනගැනීමේ නිදහසත් ඒ ආකාරයෙන් කාලයක් තිස්සේ කතාබහට ලක්වූ මාතෘකාවක්.”

“තොරතුරු දැනගැනීමේ නිදහස දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවත් දීර්ඝ ගමනක් පැමිණියා. ඉන්දියාවේ තොරතුරු දැනගැනීමේ නිදහස ඉල්ලීම සටන ආරම්භ වන්නේ සමාජයේ පහළම තැනින්. ශ්‍රී ලංකාව ඊට වෙනස්. අධ්‍යාපනික ප්‍රජාව සහ වාමාංශික දේශපාලකයන් තුළ එම වුවමනාව තිබුණා.”

“එක්දහස් නවසිය අනූව දශකයේදී තොරතුරු නිදහස, යහපාලනය, දූෂණය තුරන් කිරීම යනාදිය ස්ථාපිත කිරීම සඳහා දැඩි උනන්දුවක් තිබුණා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විශාල සටනක් ගෙන ගියා. ඒ කාලයේදීත් වැඩිම බලයක් තිබූ ජනාධිපතිවරයා වූයේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයායි. ඒ නිසා යම්කිසි පාලනයක් ගෙන ඒමේ අවශ්‍යතාව තිබුණා. ජනාධිපතිවරයා අනිසි ලෙස බලය අවභාවිත කිරීම නැවැත්වීමේ උනන්දුවක් තිබුණා.”

“විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ යෝජනාව වසර 1990 සිටම ඉදිරිපත් වුණා. අවස්ථා කිහිපයකදීම එම යෝජනාව ඉදිරිපත් වුණා. සෑම ජනාධිපතිවරණයකදීම, සෑම මහ මැතිවරණයකදීම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සටන් පාඨයක් බවට පත්වුණා. එහෙත් බලයට පත්වුණාට පසු සියලු දෙනාටම එම පොරොන්දුව අමතක වී යනවා. ඔවුන් එම පොරොන්දුව නොසලකා හරිනවා. බලයේ රස වැටුණු පසු බොහෝ අයට තමා දුන් පොරොන්දුව අමතක වී යනවා.”